දත්ත මගඩිය : මේ සා බරපතළ වංචාව කළ අයට දඬුවම් දෙන බව පේන්න නැහැ - ඕමල්පේ සෝභිත හිමි

by Staff Writer . 26-09-2021 | 10:28 PM

COLOMBO (NEWS1ST) :  රටක සංවේදී තොරතුරු මැකූ සොරුන් හෙළිදරව් කිරීම වෙනුවට, සෞඛ්‍ය අමාත්‍යංශය ඔවුන්ව බේරාගැනීමට අසාර්ථක හා බොළඳ උත්සාහයක් දරමින් සිටින බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මෙම ලිපිය ප්‍රධාන කරුණු 5 කින් සමන්විතයි. 1.ඖෂධ මාෆියාකරුවන් සහ එය වැළැක්විය යුතු අධිකාරිය එකම කණ්ඩායමකට පවරා තිබීම මගින් කිසිදු පරීක්ෂණයක් හරහා ජනතාවට සාධාරණය ඉටු නොවේ. එනිසා එම අධිකාරිය රාජ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් කර දත්ත මැකීම පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම. 2.අඩුම ඉල්ලුමක් සහිත චීන එන්නත වැඩි මුදලට මිලදී ගැනීම සහ වැඩි ඉල්ලුමක් සහ වැඩි පිළිගැනීමක් සහිත එන්නත් අඩු මිලට ගෙන්විය හැකිව තිබියදී ඒ සඳහා උනන්දුවක් නැතිවීම. 3.චීන එන්නත වැඩි මුදලකට මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව කටයුතු කරමින් සිටින අතරවාරයේම එහි සැබෑ මිල ගණන් ජනතාවට දැනගැනීමට නොහැකි වන අන්දමට ගිවිසුම්ගත වීම 4. රටට අවශ්‍ය එන්නත් සහ ඖෂධ නිපදවිය හැකි දේශීය සමාගම් ඉදිරිපත්ව සිටියදී ඒ සඳහා අවසර ලබා නොදීම. 5. ඖෂධ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශයේ යාන්ත්‍රණයෙන් මිදී කටයුතු කිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ පාලනය අවුල් සහගත තත්ත්වයකට පත්වීම. ජනතාවගේ ආරක්ෂකයා වියයුත්තේ ඖෂධ නියාමන අධිකාරියයි. රටම වෙළාගෙන ඇති ඖෂධ මාෆියාවේ කොටස්කරුවන් සිටින්නේ ඖෂධ නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ යාන්ත්‍රණය හා සබැදි ඖෂධ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශ තුළ බව කුප්‍රකට රහසක් බවත් මේ ලිපියේ සඳහන් ය.

දත්ත මගඩිය....

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන් පවසන්නේ, ඖෂධ පිළිබඳ ලියාපදිංචි සහතික දත්ත නැති වූ බව පැහැදිලි නමුත් ඇමතිවරු මැතිවරු අතරත් ඊට එකඟතාවක් නොමැති බවයි. මේ සා බරපතළ වංචාවකට සම්බන්ධ පිරිසට නිසි දඬුවම් දෙන බවක් පෙනෙන්නට නැති බව ද උන්වහන්සේ පැවසූහ.
''ඖෂධ පිළිබඳ මේ ලියාපදිංචි සහතික මේ දත්ත නැති වූ බව පැහැදිලියි. නමුත් ඒකටත් එකඟතාවක් නැහැ. ඇමතිවරු මැතිවරු අතරත්, රාජ්‍ය ඇමතිවරු අතරත්, සමහරු කියනවා නැති වෙලා නෑ තියෙනවා. සමහරු කියනවා නැතිවෙලා නමුත් ඊට අදාළ පිටපත් තිබෙනවා. තවත් සමහරු කියනවා අවශ්‍ය දේවල් නෙවෙයි නැති වෙලා තියෙන්නේ අනවශ්‍ය දේවල් කියලා. ඔය වගේ පරස්පර විරෝධී කතා කියනකොට ඒ කාරණාව ලඝු කොට සැලකීමක් අපට පේන්නේ. මට පේන්නේ නෑ. මේ සා බරපතළ වංචාවකට පෙළඹුණු අයට නිසි දඬුවම් දෙන බව පේන්න නැහැ''

ඖෂධ නියාමන අධිකාරිය චීනයෙන් එන්නත් ලබාගත් මිල ගණන් ජනතාවගෙන් සැඟ වූයේ ඇයි ?

මේ පිළිබඳ අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමි ප්‍රශ්න කරන්නේ, චීනයෙන් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් ඇතිකර ගන්නා ගිවිසුම්වල ඖෂධවලට ගෙවන මිල ගණන් අනාවරණය නොකර රහසිගතව තබා ගැනීමේ රහස කුමක් ද යන්නයි. අවම වශයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ මෙම තොරතුරු අදාළ අංශ වත ලබා දී නොමැති බව ද උන්වහන්සේ පැවසූහ.
''චීනයත් සමග ඇතිකරගන්නා ලද මේ ඖෂධ නියාමන අධිකාරිය හා අදාළ බලධාරීන් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් ඇතිකරගන්නා ගිවිසුම්වල ඖෂධවලට ගෙවන මිල ගණන් අනාවරණය කරන්නේ නැහැ. ඒවා රහසිගතව තියාගෙන ඉන්නවා. කුමක්ද මේ රහස. අඩුම ගානේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ වත් මේ තොරතුරු අදාළ අංශවලට දීලා නැහැ. එහෙමනම් මේ කියන්නේ මොකක්ද අන්ත අසරණ තත්වයකට පත්වෙලා සිටින මේ ජනතාව ගසාකෑමේ වැඩපිළිවෙළ දේශීය නියාමකයන් කරන අතරින්, විදේශිකයන්ට අපේ ජනතාව ගසා කන්න කරන ආරාධනාවක් නේද? මේකට අපි කියනවා හොරුන් නෙවෙයි කම්බ හොරුන් හෝ වෙනත් නම් ඒකට අනුගමනය කරන්න වෙලා තියනවා''