ජර්මනියේ නව චාන්සලර් කවුද?

ජර්මනියේ නව චාන්සලර් කවුද? තීරණාත්මක මැතිවරණය අදයි..

by Staff writer 26-09-2021 | 10:19 AM

COLOMBO (News 1st) - ජර්මනියේ පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම අද (26) පැවැත්වේ.

ඒ, ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල්ගේ 16 වසරක පාලනය අවසන් කරමිනි . එරට වේලාවෙන් පෙරවරු 8.00ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 6.00ට අවසන් වීමට නියමිතය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 60.4කි. ආසන 598කින් සමන්විත ජර්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට නම් ආසන 300ක් ජයග්‍රහණය කළ යුතුව වේ. යුරෝපයේ බලවත්ම ආර්ථිකයක් හිමි ජර්මනියේ, ඊළඟ චාන්සලර් ධුරය හිමිවිය යුත්තේ සිය පක්ෂයේ අපේක්ෂක ආමින් ලස්කට්ට බව ඇන්ගෙලා මර්කල් සඳහන් කළේ ඔහුගේ අවසන් දේශපාලන රැළියට එක්වෙමිනි . තරුණ තරුණියන්ට අනාගතයක් අවශ්‍ය බැවින් ජර්මනියට ස්ථාවර නායකත්වයක් අවශ්‍ය බව ඇය එහිදී අවධාරණය කළාය . මත විමසුම් වලට අනුව ප්‍රධාන දේශපාලන පක්ෂ 03ක් අතර මේ වනවිට පවතින්නේ ප්‍රබල තරගයක්. බව වාර්තා වේ . තවත් වරක් චාන්සලර් ධුරය සඳහා තරග නොකිරීමට ඇන්ගෙලා මර්කල් ගත් තීරණය, ජර්මන් දේශපාලනයේ සුවිශේෂී අවස්ථාවක් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි . ජර්මනියේ පාලනය යළි සියතට ගැනීමට අවස්ථාව තිබියදීත් ඇය, තවත් අයෙකුට අවස්ථාවක් සලසමින් ධුරයෙන් නික්ම යාමට ගත් තීරණය, ලෝකයේම පැසසුමට ලක්විය . 2005 වසරේදී චාන්සලර් ධුරයට පත් ඇන්ගෙලා මර්කල්, ජර්මනියේ නායකත්වයට පත්වූ පළමු කාන්තාවයි. ලොව බලවත්ම කාන්තාව ලෙස ෆෝබ්ස් සඟරාව නම් කළ ඇන්ගෙලා මර්කල්, ලෝක දේශපාලනය තුළ පෙරළිකාර චරිතයකි. කොරෝනා වසංගතය මැඬලීමට පෙරමුණ ගත් ලෝක නායකයින් අතර ඇගේ නම ලියැවී ඇත්තේ රටවැසියන් ආරක්ෂා කිරීමට අභියෝගාත්මක තීරණ ගත් නායිකාවක් ලෙසය. ජර්මන් පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග ඇන්ගෙලා මර්කල්, සිය ධුරයට සමුදෙනු ඇති.