සරසවි සිසුන්ගේ කොරෝනා එන්නත හදිසියේ නවතී

සරසවි සිසුන්ගේ කොරෝනා එන්නත හදිසියේ නවතී

by Staff Writer . 25-09-2021 | 8:27 PM

COLOMBO (NEWS1ST) :  කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම සඳහා අද (25) පෙරවරුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහලට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත් නොලබා ආපසු යාමට සිදුවිය.

සිසුන් පැවසුවේ, අද (25) දිනයේ එන්නත් ලබා ගැනීමට පැමිණෙන්නැයි, කෙටි පණිවුඩ, ඊ-මේල පණිවිඩ මගින් තමන් දැනුවත් කර තිබූ බවයි. නාරාහේන්පිට යුද හමුදා රෝහල ඉදිරිපිට එන්නත ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් සහ ඔවුන්ගේ මව්පියන් රැඳී සිටියේ අද අලුයම සිටයි. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම විශ්වවිද්‍යාල සිසුන් මෙලෙස එන්නත් ලබා ගැනීමට පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසී ය. කෙසේ වෙතත් කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ නමින් නිකුත් කර තිබූ මෙම දැනුම් දීමේ ලිපියෙහි දක්වා තිබුණේ අද (25) සහ හෙට දෙදින තුළ පෙරවරු සිට පස්වරු 8 සිට පස්වරු 4 නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් මොඩර්නා එන්නත ලබා ගත හැකි බවයි. ඒ අනුව ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කර එන්නතකරණයට යොමු විය හැකි බව ද අදාළ දැන්වීමේ සඳහන් විය. අප මේ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරියගෙන් විමසීමක් කළ අතර ඇය පැවසුවේ අදාළ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් තමන් දැනුවත් කළ අතර පසුව ඒ සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි. එහෙත් අදාළ වැඩසටහන අවලංගු කළ බව බලධාරීන් තමන්ට දැනුම් දුන්නේ ඊයේ රාත්‍රියේ වුවද එසැනින් එම පණිවුඩය ශිෂ්‍ය ප්‍රජාවට ලබාදීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය අප කළ විමසීමේදී කියා සිටියා ය. මේ අතර සංජානීය ආබාධ සහිත දරුවන් එන්නත්කරණය රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කුරුණෑගල පළාත් මහ රෝහලේදී අදත් සාර්ථකව සිදුවිය. රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එන්නත් ලබා ගැනීමට අද දිනයේ දරුවන් සංඛ්‍යාව 50 දෙනෙකු ලියාපදිංචි වී සිටි අතර ලියාපදිංචි නොවූ සායනික වාර්තා සහිත දරුවන් ද මෙහිදී එන්නත්කරණයට ලක් කළේ ය. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සංතුෂිත සේනාපති මහතා පැවසුවේ,  එන්නත ලබා දුන් කිසිදු දරුවෙකුට මේ දක්වා කිසිම සංකූලතාවක් වාර්තා වී නොමැති බවයි.
''දවසකට ගහන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. අනෙකුත් වැකසින් ගහනවාට වඩා වෙලාවක් ගත වනවා. ඒ නිසා සාමාණ්‍යයෙන් දරුවෙකුට විනාඩි 5 ක් 6 ක් ගතවෙනවා. මේ දෙය කරන්න. ඒ හින්දා අපට ඊයේ දවස ඇතුළත අපට රෝගීන් 180 කට එන්නත්කරණය කරන්න පුළුවන් වුණා. ඒ 180 ම මොනවා හරි තදබල රෝගාබාධ තිබුණු දරුවන්. රෝගාබාධ හෝ සංකූලතා තියෙන දරුවෝ වුණත් අවුරුදු 19 ට වැඩි සියලු දරුවන්ට අපි සයිනෝෆාම් එන්නත අපේ රෝහල යාබද තියෙන දේවස්ථානයේ ඒ එන්නත්කරණ කටයුතු කරගෙන යනවා. ඊයේ දවස වනවිට අපිට කිසිම සංකූලතාවක් වාර්තා වුණේ නැහැ''