නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නෙ නෑ-ජනපති

ශ්‍රී ලංකාවේ අලුතින් ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ - ජනපති

by Staff Writer . 25-09-2021 | 9:15 AM

COLOMBO (NEWS1ST) : නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම, දේශගුණික විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සඳහා ලබාදෙන දායකත්වය පිළිබිඹු කරන්නක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට ඊයේ නිව්යෝර්ක් නුවරදී එක්වෙමින්. ශ්‍රී ලංකාව, නව ගල් අඟුරු බලයක් නොමැති බලශක්ති සම්මුතියේ සම - නායකයෙකු වීම ගැන සතුටට පත්වන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය. ජනාධිපතිවරයා පැවසුවේ දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන අවම කර ගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යාවශ්‍ය බවයි. ඒ අනූව තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින් සිටින, දියුණු වෙමින් පවතින ජාතීන්ට සහය වන්නැයි හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ ය. පෘථිවියේ සෞඛ්‍ය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක නායකයින්ට පෙන්වා දුන්නා. තිරසර බලශක්ති සංවර්ධනයට අඛණ්ඩව කැපවී සිටින ශ්‍රී ලංකාවේ අරමුණ, 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමයි. පොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූලව ඉවත්වන ශ්‍රී ලංකාව, කාබනීහරණය ප්‍රවර්ධනය කිරීමෙන්, 2050 වන විට කාබන්වලින් නිදහස් රටක් බවට පත් කිරීමට සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ඉදිරි දශක කිහිපයේදී සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ සඳහා වන මහා පරිමාණ ආයෝජන, ශ්‍රී ලංකාව තවදුරටත් සාදරයෙන් පිළිගන්නා බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.