වික්ටෝරියා ජලාශයේ අවට හුණුගල් කැණීම් නවතයි

වික්ටෝරියා ජලාශයේ පිටාර මට්ටමේ සිට මීටර් 100ක් අවට හුණුගල් කැණීම් නවතා දමයි

by Staff writer 25-09-2021 | 11:04 AM

COLOMBO(News 1st) - වික්ටෝරියා ජලාශයේ පිටාර මට්ටමේ සිට මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වා ගෙන ගිය සියලු හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කිරීමට පියවර ගත් බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි .

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, ඒ අනුව වික්ටෝරියා ජලාශය ආසන්නයේ මීටර් 100 ක් තුළ මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන 03ක හා සුළු වශයෙන් කැණීම් කළ ස්ථානවල කැණීම් බලපත්‍ර තහනම් කළ බවය. වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ සුළු භූ චලනයන්ට හේතුව ලෙස ඒ අවට ප්‍රදේශයේ පවත්වාගෙන යන හුණුගල් කැණීම් ස්ථාන බවට තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගත් බව සභාපතිවරයා සඳහන් කළේය . ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය කාලයේ ඒ අවටින් වාර්තා වූ භූ චලනයන්ට හේතු සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යාංශය මගින් ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර, එම කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගත් බවය.