ගෑස් හිඟය මඩින්න ලිට්‍රෝ - ලාෆ් එක් කළ සමාගමක්

ගෑස් හිඟය මඩින්න ලිට්‍රෝ - ලාෆ් එක් කළ සමාගමක්

by Staff Writer . 25-09-2021 | 7:57 PM

COLOMBO (NEWS1ST) :  රට පුරා පවතින ගෑස් හිඟයට ඉක්මන් විසඳුමක් පෙනෙන්නට නොමැත.

මෙවන් පසුබිමක අලුතින්ම දැනගන්නට ලැබෙන තොරතුර වන්නේ ලිට්‍රෝ හා ලාෆ් සමාගම් එක්කොට සියොලිට් නමින් නව සමාගමක් බිහි කිරීමේ ආරම්භක පියවර ක්‍රියාත්මක වන බවයි. වෙළෙඳපොළේ ගෑස් හිඟය මතුවන්නේ මිල ගණන් වැඩි කිරීමේ ඉල්ලීමත් සමගයි. ලිට්‍රෝ හා ලාෆ් සමාගම් පෙන්වා දුන්නේ 2019 ජූනි මාසයේ ලෝක වෙළෙඳපොළේ පැවති ගෑස් මිල හා ඩොලරයට සාපේක්ෂව දැනට පවතින මිල නිසා තම සමාගම් පාඩු ලබන බවයි. ඒ අනුව ක්‍රමයෙන් වෙළෙඳපොළෙන් ලාෆ් ගෑස් තුරන් වෙන්න පටන් ගත්තේ ය. මාස කිහිපයකට පසු කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් වැඩි කිරීමට රජය අවසර ලබා දුන්නේ ය. මේ සමග කිලෝග්‍රැම් 5 සිලින්ඩරය වැඩි වුණේ, රුපියල් 145 කිනි. මේ මිල වැඩි කිරීමේ වාසිය ලැබුණේ, ලාෆ් සිලින්ඩර සඳහා පමණි. එහෙත් අද වන තුරු පාරිභෝගිකයන්ගේ ගෑස් අවශ්‍යතාව සම්පුර්ණ කිරීමට නඩිනම් පියවර ගැනීමට ලාෆ් සමාගම සමත් වී නැති බවට උදාහරණ සපයන්නේ අදටත් බොහෝ නගරවල තිබෙන ගෑස් පෝලීම් ය. ශ්‍රී ලංකාවේ ගෑස් වෙළෙඳපොළේ 70% ක ඒකාධිකාරය තිබෙන්නේ ලිට්‍රෝ සමාගමටයි. ලාෆ් කර අරින විට ලිට්‍රෝ අවශ්‍යතා සපයන්නා කහ සිලින්ඩරය පවා පුරවන බවට පැවසුව ද වෙනත් සමාගමක සිලින්ඩරයක් පිරවීමට නීතිමය අයිතියක් නැති බවට තර්කයක් ගොඩනැගිණ. එම තර්කය හමුවේත් පාරිභෝගිකයා අසරණ වන්නට විය. මෙවන් පසුබිමක දැන් දැනගන්නට ලැබෙන්නේ ජනාධිපතිතුමන්ගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් පී.පී ජයසුන්දර හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවක නිර්දේශ මත ලිට්‍රෝ හා ලාෆ් සමාගම් ඒකාබද්ධ කොට සියොලිට් නමැති සමාගමක් පිහිටුවා ඇති බවයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කළේ, ලිට්රෝ ගෑස් සමාගම 75% සහ ලාෆ් ලෑස් සමාගම 25 %ක් විදිහට සහ මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ස්වාධීන සමාගමක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.
''මේ කමිටුව මේවා අධ්‍යනය කරලා ලැබුණු තොරතුරු මත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ලාෆ් ගෑස් සහ ලිට්රෝ ගෑස් සමාගම් මේ දෙදෙනාගේම කොටස් සහභාගීත්වයෙන් අලුත් සමාගමක් නිර්මාණය කරලා ලිට්රෝ ගෑස් සමාගම 75% සහ ලාෆ් ලෑස් සමාගම 25% ක් විදිහට සහ මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ස්වාධීන සමාගමක් පිහිටුවන්නට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අනුව කැබිනට් මණ්ඩලය කැබිනට් අනුකමිටුව අපොයින්ට් කළා . ඒ කමිටුවේ නිර්දේශ මත සියොලිට් කියලා සමාගමක් පිහිටෙව්වා කටයුතු කිරීමට තමයි යෝජනා වෙලා තියෙන්නේ''

මෙම සමාගමේ ඉහළ කළමනකාරීත්වයේ සිටින්නේ කවුද ?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෑගපිටිය මහතා සඳහන් කළේ, දැනට එම සමාගම ආරම්භ කර මූලික වැඩ කටයුතු සිදු වෙමින් පවතින බවත් එහි සභාපති ලෙස මුදල් අමාත්‍යංශයේ යෝජනාව පරිදි සුසන්ත සිල්වා යෝජනා කර පත් කර ඇති බවත් ය. ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නම් කරන ලද මොහු මීට පෙර ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා බව ද ඔහු සඳහන් කළේ ය. පාරිභෝගිකයාට වැදගත් වන්නේ අලුතින් ගෑස් සමාගම් පිහිටුවීමට වඩා වෙළෙඳපොළ ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ගන්නා කඩිනම් පියවරයි.

රස්තියාදුවෙන් තොරව පෝලීම්වල නොයි ද මෙරට පාරිභෝගිකයින්ට ගෑස් සිලින්ඩරයක් ගත හැක්කේ කවදා ද ?

ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසුවේ, නව සමාගම පිහිටුවීමෙන් පසු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 04 ක් පැවැත්වූ බවත් ඔක්තෝම්බර් මාසේ මැද වෙනෙවිට ජාත්‍යන්තර වෙළඳපළෙන් ටෙන්ඩර් කැඳවීමට එහි කළමනාකාරීත්වය කටයුතු කරනු ඇති බවත් ය.

ටෙන්ඩර් කැඳවන්නේ ලබන මාසයේ මැදදී නම් පාරිභෝගිකයින්ට ගෑස් ලැබෙන්නේ කවදා ද ?

ඒ සඳහා නිශ්චිත පිළිතුරක් නොමැත. මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත් මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.
''මෙවැනි සමාගම් පටන් ගත්තේ කවුද ?මොනවාද ඒවායේ අරමුණු. බැරි මගුල් මොකටද කළේ .මේ රටේ පාරිභෝගිකයා ණයට නෙවෙයි ගෑස් ගත්තෙ. සල්ලි දීලා ගෑස් ගත්තෙ . මේ ගෑස් සමාගමේ අලුත්ම හුටපටය සියොලිට් සමාගම කරන්න හදන්න මොකක්ද , කෙරුවේ මොකක්ද ,පි බී ජයසුන්දර මොකක්ද කළේ, සුසන්ත සිල්වා කියන්නෙ කවුද? ''
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රශ්න කර සිටින්නේ, මෙවැනි සමාගමක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් දුන්නේ ද යන්නයි. තව ද එවැනි ගූග්ල් තාක්ෂණය මගින් මුහුණට මුහුණ මුණ නොගැසී අධ්‍යක්ෂක මණ්ඩල වාර දෙකක් කැඳවලා ඇති බවත් දෙවැනි රැස්වීමේදී මෙයට ශ්‍රී ලංකා නම පාවිච්චි කර ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන ආකාරයට සමාගම අලුත් කිරීමට යෝජනා කර ඇති බවත් ය. හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් ප්‍රශ්න කරන්නේ, ප්‍රසම්පාදන කමිටුවක් පත්රීමට ගත් තීරණයට සමාගමක් පිහිටුවා ගත්තේ කෙසේ ද යන්නයි.
''හදිසියේම ආරංචි වෙනවා සියොලිට් කියලා අලුතින් ගෑස් සමාගමක් හදලා ගෑස් සමාගම හදලා තියෙන්නේ රජයේ ගෑස් සමාගමක් හැටියට විශේෂයෙන් ම දැනට පාඩු ලබමින් තියෙන ලංකා බැංකුවට සහ මහජන බැංකුවට කෝටි 3,900 ක් ණය වෙලා තියෙන, ලාෆ් ගෑස් සමාගමට මහා ඒකාධිකාරයක් නිර්මාණය කර දීම සඳහා ලිට්ට්‍රෝ ගෑස් සමාගම සමග ඒකාබද්ධ කරපු සමාගමක් තමයි මේ පිහිටුවලා තියෙන්නේ, අපට තියෙන ප්‍රශ්නෙ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් දුන්න ද එවැනි සමාගමක් හදන්න ගූග්ල් තාක්ෂණය මගින් මුහුණට මුහුණ හම්බ වෙන්නේ නැතිව මේ අධ්‍යක්ෂක මණ්ඩල වාර දෙකක් කැඳවලා තියෙනවා. දෙවැනි රැස්වීමේදී යෝජනා කරන්නේ මොකක් ද මේකට ශ්‍රී ලංකා නම පාවිච්චි කරලා ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන ආකාරයට මේ සමාගම අලුත් කරන්න නාමය අපි අහන්නෙ කවුද මේකට අනුමැතිය දීලා තියෙන්නෙ, කොහොමද මෙහෙම පෞද්ගලික සමාගමක් සියොලිට් කියන නමින් ආරම්භ කරේ, ඒ වගේම මේ අනුකමිටුවේ 5 දෙනෙක් හිටියා . ඉන් 3 දෙනායි මේ වාර්තාවට අත්සන් කරලා තියෙන්නෙ, කෙහෙළිය රඹුක්වැල්ල මේකට අත්සන් කරලා නෑ. ප්‍රසම්පාදන කමිටුවක් පත්කරන්න කියලා තීරණය කරපු එකට සමාගමක් හදාගත්තේ කොහොම ද ?''