''අපි කවදක හරි මැරිල යයි, අනාගත පරපුර වෙනුවෙන් බලශක්තිය ආරක්ෂා කරන්න''- හිටපු බලශක්ති ඇමති

by Staff Writer . 25-09-2021 | 10:07 PM

COLOMBO (NEWS1ST) : කෙරවලපිටිය බලාගාරය විදේශ සමාගමකට ලබාදීමේ කලින් යෝජනාවකදී විරුද්ධ විම නිසා කැබිනට් ඇමති ධූරය පවා වෙනස් වූ බව හිටපු බලශක්ති අමාත්‍ය චන්දිම වීරක්කෝඩි මහතා අද (25) ප්‍රකාශ කළේ ය.

අහිමි වීම් පිළිබඳව පසුතැවීමට වඩා රටට සිදුවන හානිය ගැන සිතිය යුතු බව ඔහු ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ය.
''මට හෘද සාක්ෂියට එකඟව කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කාරණය සම්බන්ධවම ජාතික රජයේ කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන අපි විශේෂයෙන්ම මට විරුද්ධව මැදිහත් වෙන්න සිද්ධ වුණා. මේ හේතු මත මගේ අමාත්‍ය ධුරය පවා වෙනස් කරන්නට එදා තීරණය කෙරුණා"
ඇමරිකා එක්සත් ජනපදය සමග හෝ ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒම සම්බන්ධව , කිසිදු ආකාරයක විරුද්ධතාවයක් නැතැයි, සඳහන් කළ හිටපු බලශක්ති අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි''
''නමුත් අපි දන්නවා අපේ රටේ ස්වභාවික වායු උකහා ගැනීම සඳහා විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා ළිං අතරෙන් ළිං දෙකක කැණීම් සාර්ථක වෙලා තිබෙනවා. ඒ සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන නීති සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔන්න මෙන්න තියෙන්නේ.. මම එදා ඇමතිවරයා ඉන්න අවස්ථාවේ ලෝකයේ විශාලතම සමාගම් 11 ක් ඒ ටෙන්ඩර් සඳහා සූදානම් වෙලා ඉන්න කොට තමයි මාව වෙනස් කරේ. ඊට පස්සේ ආපු ඇමතිවරයා ඒ සියල්ල විනාශ කරා. දැන් වර්තමාන ඇමැතිවරයා නැවතත් ඒ තත්ත්වය උදා කරගෙන ඉන්න අතරේ හදිසියේම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ස්වාභාවික වායු සැපයීමේ කොන්තරාත්තුව දිගුකාලීනව යම් පාර්ශවයකට ලබාදුනහොත් අපි රටක් හැටියට අපිට ස්වාභාවික වායු උකහා ගැනීම සඳහා ආයෝජනය කිරීමට හැකියාවක් නැහැ. මම ඉතාම ඕනෑකමින් ඉල්ලා හිටිනවා ජනාධිපතිතුමාගෙනුත්, කැබිනට් මණ්ඩලයනුත්, මොකද අපිට මේ පිළිබඳ අදහස් දක්වන්න අවස්ථාවක් නැහැ. මේ කාරණය පිළිබඳ අවධානය යොමු කරන්න''
අනාගත පරම්පරාව වෙනුවෙන් රටේ බලශක්තිය ආරක්ෂා කර ගත යුතු බවත් එළැඹිය යුත්තේ, රට ගොඩනැගීමට ඇති අවස්ථාව නැති නොවන ආකාරයෙන් ගිවිසුම්වලට බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ ය.
''අපි කවදා හරි මැරිල යයි නමුත්, අපේ අනාගත පරම්පරාව වෙනුවෙන්, මේ රටේ බලශක්තිය ආරක්ෂා කරන්න. මේ රට තුළ තිබෙන තිබෙන ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට අරගෙන අපේ ණය ටික නැති කරන්න. අපි රට ගොඩනඟන්න තියෙන අවස්ථාව නැති නොවන ආකාරයෙන් මේ ගිවිසුම්වලට එළඹීම සිදුවිය යුතුයි කියන කාරණය තමයි මට කියන්න තියෙන්නේ ''