ජී.එල්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කළ ඉල්ලීම

විදේශ ඇමති එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉන්ධන සහනයක් ඉල්ලයි

by Staff Writer . 24-09-2021 | 7:06 PM

COLOMBO (NEWS1ST) : මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා සහන සැලැස්මක් ලබා දෙන්නැයි, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කළේ ය.

ඒ, එරට කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මහතා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී හමුවූ අවස්ථාවේදීයී. විදේශ අමාත්‍යවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව ඔහු යෝජනා කර ඇත්තේ එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපනය කළ යුතු බවයි. ඒ පිළිබඳ ඉක්මන් පසු විපරමක් සඳහා දෙපාර්ශවයම එකඟ වී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලක්ෂ 3 ක් පමණ වන ලාංකික සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට මෙහිදී විදේශ අමාත්‍යවරයා ස්තුතිය පළ කර ඇත. තව ද අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය මත පදනම්ව රටවල් අතර පවතින යහපත් සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනාම මෙහිදී සිය කැපවීම යළි තහවුරු කර තිබේ. විවිධ කොන්දේසි සහ න්‍යාය පත්‍ර රටවල් මත පැනවීම පිළිගත නොහැකි බවත්, සෑම ගැටලුවකටම සරිලන එක් විසඳුමක් පිළිබඳ ප්‍රතිපත්තිය මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන බවටත් අමාත්‍යවරුන් දෙදෙනාම මෙහිදී ප්‍රකාශ කර ඇත.