කොවිඩ් මර්දන විශේෂ කමිටුව ගත් තීරණ...

රට විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමා පිළිබඳ පූර්ණ සැලැස්මක්

by Sagarika Chathumali 24-09-2021 | 5:32 PM

COLOMBO (NEWS1ST) :  නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ක්ෂේත්‍ර 03 ක් යටතේ මම සැලැස්ම සකස් කෙරෙන අතර රාජ්‍ය අංශයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශයේ සේවාවන් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව කම්කරු අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය විශේෂඥ කමිටු හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නිර්දේශ නිකුත් කරනු ඇති. අද (24) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී පැවැත්විණ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අදාළ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ග්‍රාමීය සංවර්ධන කමිටු සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ සහය ලබාගත යුතු බව ද මුදල් අමාත්‍යවරයා පැවසූ බවයි. කොවිඩ් අභියෝගය හමුවේ නව සාමාන්‍යකරණය යටතේ රටේ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සියලු අංශ එක්ව කටයුතු කළයුතු බව පෙන්වා දී ඇති මුදල් අමාත්‍යවරයා 4වන කාර්තුවේ දී රටේ ආර්ථික වර්ධන වේගය 3% මට්ටමක පවත්වාගෙන යාමට ඉලක්ක සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කර තිබේ. පාසල් විවෘත කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර සෞඛ්‍ය විශේෂඥ කමිටුව මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර ඇති නිර්දේශ ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට ඝෘජුවම යොමු කරන ලෙස මුදල් අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත. තව ද පාසල් විවෘත කිරීමට එන්නත්කරණය අවසන් වන තුරු සිටීම අවශ්‍ය නොවන බව යුනිසෙෆ් ඇතුළු ළමුන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම මෙරට ළමා රෝග විශේෂඥයන් ද පෙන්වා දී ඇතැයි ද කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ප්‍රකාශ විය. දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා කඩිනමින් පාසල් සහ පෙර පාසල් යළි විවෘත කළ යුතු අතර ඒ සඳහා නිසි සෞඛ්‍ය නිර්දේශ යටතේ කටයුතු කළ යුතු බවත් දෙමාපියන්ගේ කැපවීම සහ සැලකිලිමත් බව එහිදී ඉතා වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. පාසල් පවිත්‍රකරණය සහ විෂබීජහරණයේ දී පළාත් පාලන ආයතනවල සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සෘජු දායකත්වය ලබා ගැනීමට ද තීරණය කෙරිණ. ආයුර්වේද පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමයේ වැදගත්කම කමිටු රැස්වීමේදී අවධාරණය කෙරුණු අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් සංචාරක කලාප ආශ්‍රිතව නව ආයුර්වේද පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව ද සාකච්ඡා වී ඇත. කොවිඩ් වසංගතය හමුවේ දේශීය ඖෂධ සඳහා ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් පවතී. ඖෂධ අපනයනයේදී මේ වන විට තිබෙන බාධා ඉවත් කිරීම සඳහා සෘජු සැලැස්මක් සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දීපව්‍යාප්තව නිවෙස් වෙත නොමිලේ බෙදාදීමට සැලසුම් කර ඇති දේශීය ප්‍රතිශක්ති වර්ධක ඇතුළත් ඖෂධ මංජුසාව ලබා දීමට සියලු සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දී ඇති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, ඒ සඳහා රුපියල් මිලියන 6,000ක් ද වෙන් කර ඇති බවයි. මේ අතර ගුවන්තොටුපොළෙන් මෙරටට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ප්‍රමාදයක් ඇති බවට කෙරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නොමැති බව පෙන්වා දුන් විෂයභාර ආමාත්‍යවරයා ආරම්භ කර ඇති නව පරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් හෙට (25) ආරම්භවීමත් සමග එම කටයුතු තවත් කාර්යක්ෂම වනු ඇතැයි, සඳහන් කර තිබේ. විදෙස් සංචාරකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිදු රඳවා ගැනීමකින් තොරව ඔවුන් විසින් තෝරාගත් හෝටලය වෙත යොමු කෙරෙන බවත් ලාංකිකයින් ඔවුන්ගේ නිවෙස්වලට යොමු කෙරෙන අතර පැය 02-03කට ආසන්න කාලයකදී නිකුත් කෙරෙන PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව යම් අයෙක් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් දැනුවත් කිරීම් සහ නිරෝධායන ක්‍රියාවලිය සඳහා උපදෙස් නිකුත් කෙරෙන බව ද සඳහන් කෙරිණ. කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති , මැති ඇමතවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මෙම කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම එක්ව සිට ඇත.