ජනපති එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව අමතයි

රට වැසියන්ට සහ පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයන්ගේ අරමුණ විය යුතුයි - ජනපති

by Staff Writer . 24-09-2021 | 8:58 AM

COLOMBO (NEWS1ST) :  ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නිව්යෝර්ක් නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ , රටවැසියන්ට සහ පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයන්ගේ අරමුණ විය යුතු බවයි. ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක් කිරීම වැදගත් වන අතර, ඒ සඳහා සියලු පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. කොරෝනා වසංගතය, ගෝලීය ආහාර සුරක්ෂිතතාවයේ පැවති දුර්වලතා පෙන්නුම් කළ අවස්ථාවක් බව ජනාධිපතිවරයා ආහාර පද්ධති සමුළුව අමතමින් සඳහන් කළේ ය. තව ද දේශගුණික විපර්යාසයන් සමග එම තත්ත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයා පැවසුවේ තිරසර ආහාර පද්ධති යනු ශ්‍රී ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසක් බවයි. ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට අයහපත් බලපෑම් එල්ල කරන රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමට තම රජය මෑතකදී ගත් පියවර, තිරසර සංවර්ධනය පිළිබඳ වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සන්ධිස්ථානයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. ජනාධිපතිවරයා පැවසුවේ, දීර්ඝකාලීනව රසායනික පොහාරවලට හුරු වූ ගොවීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම මෙන්ම කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි දේශීයව නිෂ්පාදනය කිරීම ද අභියෝගයක් බවයි. ඒ සඳහා ලබාදෙන තාක්ෂණික සහ ද්විපාර්ශ්වීය සහයෝගීතාව, ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. මෙවර එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව පැවැත්වුණේ " අපට අවශ්‍ය අනාගතය සඳහා වූ පියවර වේගවත් කරමු " යන තේමාව යටතේයී. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා විසින් එහි ප්‍රධාන දේශනය සිදුකරනු ලැබී ය.