රජයේ දත්ත මැකූ ඉංජිනේරුවා කවු ද?

by Staff writer 24-09-2021 | 9:36 PM

COLOMBO (News 1st) - රජයේ ගවර්මන්ට් ක්ලවුඩයෙන් මේ මැකී ගියේ ඔබේත් මගෙත් සංවේදී දත්තයි.

පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය විය. ඒ අනුව ජුලි මස 23 වැනි දා පළමුවරට මේ පිළිබඳව සී.අයි.ඩීයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. පසුව තොරතුරු වාර්තා වූයේ අදාළ දත්ත මැකීයාමේ එපික් ලංකා ආයතනයේ ඉංජිනේරුවරයෙකු අතින් වූ අත්වැරදීමක් බවයි. එවන් පසුබිමක ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, අදාළ ඉංජිනේරුවරයා සිය නිවෙසේ සිට ද දත්ත මකාදැමීමට කටයුතු කළ බවය. මෙතරම් අධිසංවේදී තොරතුරු පද්ධතියකට ඇතුළුවී දත්ත මකා දැමීමට තරම් සුපිරි බලයක් සහිත මේ ඉංජිනේරුවරයා කවු ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වාර්තා කළ කරුණුවලට අනුව එපික් ලංකා ටෙක්නොලජීස් ආයතනයේ ඊ ගවර්න්මන්ට් අංශයේ තාක්ෂණික සහයක කණ්ඩායම් ඉංජිනේරු ඔස්වත්ත ලියනගේ ජූඩ් දුමින්ද අයෝමාල් පෙරේරා, විධායක පාරිභෝගික සේවා සහායක ආසිරි වික්‍රමරත්න සිරිවර්ධන සහ එපික් ලංකා ටෙක්නොලජිස් ආයතනයේ සහය තාක්ෂණික නායක සිරිමුතුගොඩගේ මහේෂ් ඉෂාන් තිලකරන්ත , එපික් ලංකා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන තාක්ෂණ නිලධාරි නිරංජන් ක්‍රිෂාන් ජයවර්ධන යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අයි.සී.ටී.ඒ. ආයතනය යටතේ ශ්‍රී ලංකා ක්ලවුඩයේ ඇති එන්.එම්.ආර්.හි සංවේදී දත්ත මකා දැමූ ඉංජිනේරුවරයා පිළිබඳ මෙතරම් තොරතුරු අනාවරණය වද්දී ඔහු සම්බන්ධයෙන් මෙතෙක් ගත් ක්‍රියාමාර්ගය කුමක් ද? අතිශය සංවේදී තොරතුරු ඇතුළත් රාජ්‍ය ක්ලවුඩය වැනි ඔබගේත් මගේත් සුරක්ෂිතම දත්ත ගබඩාවට ඇතුළු වී දත්ත අතුරුදහන් කළ සුපිරි ඉංජිනේරුවරයා පිළිබඳව තොරතුරු හෙළි කිරීම වගකිව යුතු බලධාරීන්ගේ වගකීම නොවේ ද? මෙතරම් විශාල සිදුවීමකට චෝදනා එල්ලවන මෙම ඉංජිනේරුවරයා තවමත් නිදැල්ලේ. ශ්‍රී ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩයේ සම්පූර්ණ වගකීම හිමි අයි.සී.ටී.ඒ. ආයතනය නිහඬ ඇයි?