COLOMBO (NEWS1ST) : තමන්ගේ ප්‍රහාරයට ලක්වන්නේ, රට රැවටූ ආණ්ඩුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ඉන් ඉවතට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මාධ්‍යවේදී ප්‍රශ්නය :- පුවත් වාර්තා වෙනවා. ඔබතුමා ඊළඟ ජනාධිපතිවරණයට ඊළඟට ඉදිරිපත් වෙන්න සූදානමක් තියෙනවා කියලා , ඔබතුමාගේ ඊළඟ ප්‍රහාරයට ලක් වෙන්නේ සජිත් ප්‍රේමදාස ද?
පිළිතුර (පාඨලී චම්පික රණවක) :- මගේ ප්‍රහාරයට ලක් වෙන්නේ මේ රට රවට්ටපු මේ ආණ්ඩුව. අන්න ඒක මතක තියාගන්න මගේ ප්‍රහාරයට ඒගොල්ලො ලක්වෙනවා. ඒගොල්ලො ඒ ගැන බිය විය යුතුයි ඒගොල්ලො බය වෙලා ඉන්නවා කියලා මට තේරෙනවා
මෙගා පොලිස් අමාත්‍යංශය යටතේ ප්‍රචාරණය සඳහා රුපියල් මිලියන 75 ක් අවභාවිත කළ බවට කරන ලද චෝදනාවක් පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මන්ත්‍රීවරයා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණ.
පැය තුනක පමණ කාලයක් ප්‍රකාශය ලබා දීමෙන් පසු පිටතට පැමිණි මන්ත්‍රීවරයා පැවසුවේ 2018 වසරේ සිට 2019 දක්වා සිදු කළ ප්‍රවර්ධන වැඩසටහනේදී කිසිදු ප්‍රසම්පාදන වරදක් සිදු වී නොමැති බවයි.
තව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ, මීට අදාළ සිටින පිරිසගේ දුරකථනවල දත්ත ඔවුන්ට නොදන්වා අධිකරණ නියෝගයකින් තොරව අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයා විසින් ලබාගෙන ඇති බවට හෙළිවූ බවයි.
''වැදගත් කාරණයක් මෙතැනදී එළිදරව් වුණා. මීට අදාළව ඉන්න අයගෙ දුරකථනවල දත්ත ඒගොල්ලන්ට නොදන්නා උසාවි නියෝගයකින් තොරව රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා විසින් ලබාගෙන තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම මිනිසුන්ගේ පුද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක්. මේවා කරන්නේ මොකද කියන එක ඉතාම පැහැදිලියි. පසුගිය කාලයේ සිදු වෙච්ච භයානක ප්‍රහාරය පාස්කු ප්‍රහාරය ඒ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ඒ ප්‍රහාරය පිළිබඳ හිටපු නීතිපතිවරයා කියලා තියෙනවා, වෙළුම් 23 එක වෙළුම්යි ගෙනාවෙ වෙළුම් 22 ක් හංගගෙන ඉන්නවා. මේකට උත්තර දෙන්නෙ නැතිව මේක හෙළිදරව් කරපු අපිව කැඳවනවා ඒ වගේම රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරලා ඉතාම පහත් පෙලේ ප්‍රකාශයක් මේ රටේ ආගම් අතර හිංසාකාරී ගැටුම් ඇතිවන ප්‍රකාශයක් කරගෙන යනවා''
මේ අතර සමගි ජන බලවේග මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ, ආණ්ඩුව රිෂාඩ් බදියුදීන් හැ එකදු පුද්ගලයෙකු හෝ අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
''අකුණු ගහන කොට එළියට දාන යකඩය වගේ රිෂාඩ් බදියුදීන් තමයි අකුණු ගහන්න දාල තියෙන්නෙ. හැමදාම යකඩ විසි කරලා ආණ්ඩුවලට බේරෙන්න බැහැ. හෙට අනිද්දා වෙනකොට මේ ආණ්ඩුවෙ මුදුන් ලීයට ම අකුණ ගහනවා''
මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේ, යහපාලන ආණ්ඩු සමයේ හොරකම්, වංචාවලට සම්බන්ධ පිරිස් CIDය හමුවට පැමිණිය ද ඇත්ත හෙළිදරව් කරන පිරිස් අද මෙම ස්ථානයට කැඳවන බවයි.
''යහපාලන ආණ්ඩුව කාලේ මේ මන්දිරය ගාවට එනකොට කිව්වේ දඩයම් මන්දිරය ගාවට එනවා කියලා. හැබැයි ආපු හැමෝම මතක් කරලා බලන්න ආවෙ මොකටද කියලා . එක්කෝ හොරකම් කරලා එක්කෝ මංකොල්ල කාලා. අද එන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඇත්ත හෙළිදරව් කරපු අය . ඇන්ටිජන් වංචාව පිළිබඳව ඇත්ත හෙළිදරව් කරනවා නම්, කවුරුහරි. දත්ත හොරකම පිළිබඳව ඇත්ත කියනවා නම් කවුරු හරි . ඇත්ත කියපු මිනිස්සු තමයි අද සීඅයිඩී එකට එන්නේ.''
මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ අතර මන්ත්‍රීවරයා සඳහන් කළේ, මේ සියල්ල ජනතා අවධානය වෙනතකට යොමු කිරීමේ දේශපාලන ඩ්‍රාමා බවයි.
''මේවා දේශපාලන ඩ්‍රාමා. දැන් මිනිස්සුන්ට හාල් ගන්න නැහැ කිරිපිටි ගන්න නැහැ. ගෑස් ගන්න නැහැ. ආණ්ඩුවට මිනිස්සු තිත්ත කුණුහරපෙන් බනිනවා. ආණ්ඩුව කල්පනා කරනවා. ඩ්‍රාමා එකක් කරලා මිනිසුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න. ඔය කරන වැඩවලින් ඇත්ත වශයෙන්ම විපක්ෂය ශක්තිමත් කරන එක තමයි සිද්ධවෙන්නේ''