2020 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

2020 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

by Sagarika Chathumali 23-09-2021 | 8:24 PM

COLOMBO (NEWS1ST) : 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරිණ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සදහන් කළේ, විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර විභාගයේ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වූ බැවින් එම විෂයන්වල ප්‍රතිඵල හැර සෙසු ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පවත්වා නැවත එම සිසුන් සඳහා පමණක් ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීමට නියමිතයි. සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ට සිය විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් භාගත කර ගත හැකි අතර, එම මුද්‍රිත ප්‍රතිඵල සටහන උසස් පෙළ පන්ති සදහා ඇතුළත් වීමට වලංගු ලේඛනයක් ලෙස සැලකෙන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දේශිය සහ විදේශිය භාවිතය සඳහා මෙම විභාග සහතික පත්‍ර 2021 සැප්තැම්බර් මස 26 වනදා සිට ඔන්ලයින් මගින් අයදුම් කළ හැකි බවයි. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 622,352 කි. ඉන් 423,746 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වූ අතර ඉතිරි 198,606 දෙනා පෙනී සිටියේ, පෞද්ගලික අයදුම්කරුවන් ලෙසයි.