නිධන්ගත රෝගී දරුවන් එන්නත්කරණය හෙට (24) සිට

නිදන්ගත රෝග සහිත 12 ට වැඩි දරුවන්ට හෙට (24) සිට කොරෝනා එන්නත්

by Staff Writer . 23-09-2021 | 9:00 PM

COLOMBO (NEWS1ST) :  නිධන්ගත රෝග සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන් ප්‍රථම වරට එන්නත්කරණය හෙට (23) සිට ආරම්භ වේ.

ඒ කොළඹ , කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමිනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ , කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල යන ස්ථානවලදී එලෙස දරුවන් එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එන්නත්කරණය සිදුවන්නේ හෙට (24) පෙරවරු 9.00 සිටයි. එන්නත් ලබා දීමට පළමුව දරුවන් විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් විශේෂ පරික්ෂා කිරීමකට ලක්කෙරෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කළේ ය. අදාළ දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට නියමිත අතර පළමු මාත්‍රාව ලබා දී සති 4 කට පසු දෙවන මාත්‍රාව ලබාදෙනු ඇති. දරුවන් එන්නත්කරණය පිළිබඳ රජයේ සැලැස්ම පැහැදිලි කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (23) සාකච්ඡාවක්ද කැඳවා තිබිණ.

?  සංජානීය ආබාධ කියන්නේ මොනවාද?

සංජානීය ආබාධ සහිත දරුවන් යනු කවුරුන්ද යන්න පිළිබඳව ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙලෙස පැහැදිලි කළේ ය.
''මේ ළමයි අනිත් ළමයි වාගේ නෙවෙයි සාමාන්‍යයෙන් සායනයකට සහභාගී වෙන අය.ප්‍රතිශක්තිය ඌන දරුවෝ. ඊලගට අර දියවැඩියාව වාගේ දේවල් ,ඊළඟට නියුරෝන ස්ටැබිලිටි. ස්නායු. ඒවාගේම උපතින්ම ගෙනාපු ජනාමය සින්ඩ්‍රෝම් කියනවා. ඒ රෝගීන්. හෘද රෝග දීර්ඝ කාලීනව තියෙන අය. ශ්වසන රෝග දීර්ඝකාලීනව තියෙන අය. මෘතා මාර්ගය, ආහාර මාර්ගය , රෝග තියෙන අය. ඒවාගේම හන්දි රෝගවලට ප්‍රතිකාර ගන්න අය තමයි''

?සංජානීය ආබාධ සහිත දරුවන් එන්නත්කරණය වැදගත් වන්නේ ඇයි?

ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවසුවේ, පසුගිය මාස කිහිපයේ වාර්තා වූ අවුරුදු 20ට අඩු කොවිඩ් ආසාදිත මරණ අතරින් මරණ 21 ක් පිළිබඳ තොරතුරු විශ්ලේෂණයේදී ඉන් මියගොස් සිටි 14 දෙනෙකුම සංජානනීය අබාධා සහිත දරුවන් බවයි.
''සමස්ත කෝවිඩ් මේ වනවිට සෑදුණු කණ්ඩායම දිහා බැලුවාම පන් ලක්ෂ හත්දාස් තුන්සිය තිහක් විතර සංඛ්‍යාවෙන් 18 % ක් වාගේ ආසන්න සංඛ්‍යාවක් ඉන්නේ අවුරුදු 20 ට අඩු අය. එතනදි පහුගිය මාස කීපය තුළ අපි දැක්කා. එතනදි මරණ 21 ක් සම්බන්ධව අපි ඇනලිසිස් එකක් කරපුවාම එතන තිබුණා. 20 ට අඩු මරණ 21 ක්. ඒ මරණ 21 න් 14 ක් මේ සංජානනීය ආබාධ තියෙන අය තමයි මරණයට පත්වෙලා තිබුණේ''

?

සංජානනීය ආබාධ සහිත දරුවන් කොපමණ සිටිනවාද?

මේ අතර විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසුවේ, දළ වශයෙන් සංජානනීය ආබාධ සහිත ළමුන් 30,000 ත් 40,000 ත් සිටින බවත් උපරිම 50000 ක් පමණ විය හැකි බවයි.

?

සංජානීය ආබාධ සහිත දරුවන් එන්නත්කරණය කරන්නේ කෙසේද?

මෙම දරුවන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධික්ෂණය යටතේ එන්නත්කරණය සිදුවන බවත් දෙමාපියන්ගේ අත්සනට අමතරව විශේෂඥ වෛද්‍යවරයා සීල් එක සහිතව එන්නත ලබා ගැනීම සඳහා නිර්දේශ කළ යුතු බව ත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේ ය.

?

දරුවන් එන්නත්කරණයේදී දෙමාපියන් සැලකිලිමත් විය යුතු කරුණු

මේ අතර විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ, එන්නත් ලබා දී මෙන් පසු යම් කාලයක් දරුවන් නිරීක්ෂණය කරන බැවින් ඉතා වේගයෙන් පෝළිමට එන්නත් ලබාදීමේ තත්ත්වයක් බලාපොරොත්තු නොවන ලෙසයි.
''යම්කිසි විදියක යම්කිසි පමාවක් වෙන්න පුළුවන් හෙට ළමා රෝහලේ ආරම්භ වුණාට පස්සේ ලබන සතියේදී කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භ වනවා. සමහර විට ගම්පහ සහ කළුතරත් එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ දවස් කීපයකට පස්සේ අපි අනිත් පළත්වලත් එන්නත්කරණය ආරම්භ කිරීමට ලෑස්ති කරලා තියෙනවා. මේ එන්නත් අපිට අවශ්‍ය වන්නේ 30,000 යි. ලක්ෂ 2 ක්ම වෙන් කරලා තියෙනවා. කිසිදු දෙමාපියෙක් බය වෙන්න දෙයක් නෑ.. මේ අයට එන්නත නොලැබෙයි කියලා''
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, අනිත් පළාත්වල දරුවන්ට එන්නත ලබාදීමට කටයුතු කරන බැවින් පිට පළාත්වලට ගොස් දරුවන් එන්නත්කරණය කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
''අනිත් පළාත්වලින් කොළඹට ඇවිල්ලා මේක විඳගන්නවත් එහෙම නැත්තම් කුරුණෑගලට ඇවිල්ලා අනුරාධපුරයට ඇවිල්ලා මේක විඳගන්න අවශ්‍යතාවක් නෑ. සංකේතාත්මකව තමයි අපි මේ දිස්ත්‍රික්ක 3 ආරම්භ කරන්නේ. ඒ පළාත්වල ඉන්න අය ඒ අදාළ පළාතේ රෝහලෙන් එය ලබා ගැනීමට හැකියාව තියෙනවා''