කෙරවළපිටිය ගිවිසුම කෙළවර වෙන්නේ කොතනින් ද?

by Staff Writer . 23-09-2021 | 10:22 PM

COLOMBO (NEWS1ST) :  ආණ්ඩුවට සහය දක්වන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ දේශපාලන පක්ෂවල රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

අද පස්වරුවේ ආරම්භ වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ පක්ෂ නායක හමුව කැඳවා තිබෙන්නේ කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි පක්ෂ නායකවරු අදහස් පළ කළහ. එහිදී ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා පැවසුවේ, 11 දෙනෙකුගේ පමණ අත්සන්වලින් යුත් ලිපියක් ජනාධිපතිවරයාට භාර දීමට නියමිත බවත් පැමිණි වහාම මේ ගැන සාකච්ඡා කර අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස එමගින් ඉල්ලා සිටි බවත් ය. එම සාකච්ඡාවෙදී අනෙකුත් පක්ෂ දරන මතය ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. අද සාකච්ඡාවේදී අගමැතිවරයාගෙන් සාධනීය පිළිතුරක් ලැබුණේ දැයි මෙහිදී අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීහු වැඩිදුරටත් විමසා සිටියහ. ඊට පිළිතුරු ලෙස වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේ,අග්‍රාමාත්‍යවරයා මධ්‍යස්ථව කටයුතු කළ බවත් කිසිදු පාර්ශවයක මතයක නියෝජනයක් නොකළ බවත් ය. ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මුදල් අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි, අපේක්ෂා කරන බව ද වීරවංශ අමාත්‍යවරයා පැවසී ය. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, පක්ෂ නායකයින් සාමකාමීව සාකච්ඡාව පවත්වා විසිර ගිය බවයි.