සමගි ජන බලවේග මහ ලේකම් හා මනුෂගෙන් පෙත්සම්  2 ක්

කබ්රාල්ගේ බහ බැංකු අධිපති ධුරය බලරහිත කරන්නැයි, ඉල්ලා පෙත්සම් 02 ක්

by Staff Writer . 23-09-2021 | 1:01 PM

COLOMBO (NEWS1ST) : ආර්ථිකය හරි මගට ගෙන යන දිසාව සකස් කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට සුදුසු ස්වාධින පුද්ගලයෙකු පත් කළ යුතු බව තහවුරු කරන තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කළේ ය.

මෙම පෙත්සම් ඉදිරිපත් කළේ , සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර යන මහත්වරුන් ය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර මහ බැංකු අධිපති ධුරයේ සිටියදී මහ බැංකුවට රුපියල් බිලියන 10 කට අධික අලාභයක් සිදුකර ඇති බව පෙත්සමේ සඳහන් ය. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කළ වෝහාරික විගණන වාර්තාවක් මගින් ද ඔහුගේ ක්‍රියා කලාපය අනාවරණය වී ඇති බැවින්, කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළහොත් සාක්ෂි විනාශ කිරීමේ ප්‍රවණතාවයක් ඇති විය හැකි බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. මුල්‍ය චෝදනා එල්ලවූ අයෙකු මෙවන් ධුරයකට පත්වීමෙන් ජනතාවගේ අපේක්ෂා බිඳ වැටෙන බවත් පෙත්සමේ සඳහන් ය. මහ බැංකු වෝහාරික විගණන වාර්තාව අධිකරණයට කැඳවා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරිමට බලධාරින්ට නියෝගයක් කරන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. එම පෙත්සම්වල වගඋත්තකරුවන් ලෙස නම් කර ඇත්තේ අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, නියෝජ්‍ය මහ බැංකු අධිපති පී.එම්. ජේ .වයි .පී ප්‍රනාන්දු යන මහත්වරුන් මෙන්ම නීතිපතිවරයා සහ පොලිස්පතිවරයායි.