ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් ගැන එකඟතාවක්..

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කෙරෙන ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට එකඟතාවක්

by Staff writer 23-09-2021 | 10:36 PM

COLOMBO (News 1st) - ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට අද (23) දෙරටේ විදේශ ඇමැතිවරුන් අතර එකඟතාවක් ඇතිවිය.

ඒ, අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර පැවැත්වෙන ජගත් මහ මණ්ඩල සැසිවාරය අතරතුර සිදු වූ හමුවීමකදීයි. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ප්‍රකාශ කළේ, ජනවාර්ගික ගැටලුවලින් පසු මතුව ඇති අවශේෂ ගැටලු නිරාකරණය පිණිස සාධාරණ හා යුක්ති සහගත විසඳුම් ලබාදීම දෙරටේම යහපතට හේතුවන බවයි. එම ගැටලු විසඳීමට විදේශ, ආරක්ෂක හා අධිකරණ අමාත්‍යංශ එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේ ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බැලීම, එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීම සහ ස්වාධීන ආයතන බලගැන්වීම ගැන ද දෙරටේ විදේශ අමාත්‍යවරුන් සාකච්ඡා කළහ. දෙරටේ සබඳතා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මතුකළ ජයශංකර් මහතා ක්‍රියාත්මක වීමට නියමිතව ඇති ව්‍යාපෘති සංඛ්‍යාව ප්‍රායෝගිකව අවසන් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.