ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි

ලොව සියලු ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතුයි... ජනපති ජගත් සමුළුව අමතමින් කියයි.

by Sagarika Chathumali 22-09-2021 | 9:53 PM

COLOMBO (NEWS1ST) : සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය අමතමිනි. ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ, ඔවුන්ගේ යාන්ත්‍රණයන් සහ උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකිය යුතු බවයි. මෙරට වේලාවෙන් අද (22) රාත්‍රි 9.30 ට පමණ ජනාධිපතිවරයා සමුළුව ඇමතී ය. කොවිඩ් - 19 වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී බලපෑමක් ඇති කර ඇතැයි, සඳහන් කළ ජනාධිපතිවරයා වසංගතය හමුවේ සිය සමීපතමයින් අහිමිවූ සියලු දෙනා වෙත සිය සංවේගය ද පළ කළේ ය. ජනාධිපතිවරයා සැසිය අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ, සෑම තැනකම සැම කෙනෙකුට ම එන්නත ලබා දී ඇති බවට සහතික වීම වසංගතයෙන් මිදීමේ හොඳම ක්‍රමවේදය බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අර්බූදයට ප්‍රතිචාර දක්වන ආකරය පිළිබඳව සතුටු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් ඇතැයි, ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පැවසුවේ, වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනොට ම පාහේ මේ වනවිටත් පූර්ණ වශයෙන් එන්නත් ලබා දීමට කටයුතු කර ඇති බවයි. ඔක්තෝබර් මාසය අවසානය වන විට වයස අවුරුදු 20 ට වැඩි සෑම දෙනාටම පූර්ණ වශයෙන් එන්නත ලබා දීමට බලපොරොත්තු වන බවත් නුදුරේදී ම අවුරුදු 15 ට වැඩි දරුවන්ට ත් එන්නත් ලබා දීම ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා එජා මහා මණ්ඩල සැසිය අමතමින් ප්‍රකාශ කළේ ය. වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලින් විසින් ශ්‍රී ලංකාවට සපයන ලද මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර පිළිබඳව ද ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා කියා සිටියේ, කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට, ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි. වසංගතයේ ආර්ථික බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපා ඇති බවත් මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ අවදානමකට ලක් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් සංවර්ධන මූල්‍යකරණ සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය කරුණක් බව ද පෙන්වා දුන්නේ ය. රටේ ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට භූ උපාය මාර්ගික පිහිටීම සහ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණ ශ්‍රම බලකාය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේ ය. ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය රජයේ ප්‍රමුඛ අරමුණ වන අතර මෙම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශ්වකරුවන් සමග සම්බන්ධවීමට සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට සූදානම් බව ද ජනාධිපතිවරයා පැවසී ය. එසේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතු බව ද ජනාධිපතිවරයා සැසිය අමතමින් කියා සිටියේ ය. ගෝලීය අභියෝගයක් වන ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය විසින් ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ රටේ ආර්ථික සමෘද්ධිය අහිමි කළ බවත් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට තම රජය සහතික වන බව ද පැවසී ය. ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ,  පාංශු සාරවත් බව, ජෛව විවිධත්වය, ජල මාර්ග සහ සෞඛ්‍ය කෙරෙහි එහි පවතින හානිකර බලපෑම හේතුවෙන් මේ වසර මුල සිට රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක තහනම් කිරීමට තම රජය කටයුතු කළ අතර කාබනික පොහොර නිෂ්පාදනය හා යොදා ගැනීම මෙන්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා කරන ආයෝජන දිරි ගැන්වීම කටයුතු කර ඇති බවයි. පොසීල ඉන්ධන භාවිතය අවම කිරීම සහ කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටින බවත්, බලශක්ති ප්‍රතිපත්තිය මගින් වසර 2030 වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද සඳහන් කළේ ය. පෘථිවියේ සෞඛ්‍යයට මානව ක්‍රියාකාරකම්වල පෙර නොවූ විරු බලපෑම කනගාටුවට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෙහි අනතුරුදායක බව මනාව වටහාගෙන ඇති බවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ මනා දර්ශනයක් ශ්‍රී ලංකාව සතු බවත් පැවසීය. ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා තිරසර අනාගතයක් වෙනුවෙන් සැබෑ සහයෝගිතාවයෙන්, ත්‍යාගශීලීව සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් එක්ව කටයුතු කරමු යැයි ජගත් සමුළුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ ය.