හෙද හෙදියන් පැයක් මහ පාරේ...

by Staff writer 22-09-2021 | 10:48 PM

COLOMBO (News 1st) - හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 47 ක් අද (22) දහවල් දිවයින පුරා පිහිටි රෝහල්වල පැයක කාලයක් විරෝධතාවයේ නිරත විය.

උපකරණ, ප්‍රවාහන පහසුකම් නිසි පරිදි නොලැබීම, විධිමත්ව චක්‍රලේඛ ක්‍රියාත්මක නොකිරීම, කොවිඩ් දීමනාව නතර කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පැවැත් විය. ජාතික රෝහල ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධාන කළේ, සෞඛ්‍ය වෘත්තීය එකමුතුවයි. රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති, නාමල් ජයසිංහ මහතා,
පසුගිය කාලේ අඩුම අපිව අගය කරන්නවත් රජය කටයුතු කළේ නෑ. මේ වනකොට 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා කොවිඩ් අර්බුදයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල
ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ජාතික සංවිධායක, ආර්. ඒ . ඩී. සුමිත් හේමන්ත මහතා,
අපේ මුදල් ලබාදෙන්න. එසේ ලබා නොදුන්නොත් ලබන 27 වෙනිදා මේ විදියට පැයක් නෙවෙයි උදෑසන සිට ලංකාවේ සියලුම රෝහල් එළියට බස්සලා අපි ආණ්ඩුවට කියනවා අපිට අසාධාරණකම් කරන්නේ නැතුව අපේ ඉල්ලීම් අපිට දියව් කියන්න හැම කෙනෙක්ම එළියට බහිනවා
ඒකාබද්ධ සෞඛ්‍ය සේවා එකමුතුව සංවිධාන කළ තවත් විරෝධතාවක් කුරුණෑගල පළාත් මහ රෝහල ඉදිරිපිට පැවැත් විය. හලාවත මහ රෝහල, මාතර දිස්ත්‍රික් මහරෝහල, හොරණ මූලික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල ,මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් දහසකට අධික සංඛ්‍යාවක මේ විරෝධාත පැවැත්වූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේ ය.