ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අද (22) අගමැති හමුවෙයි

අගමැති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක්

by Staff Writer . 22-09-2021 | 9:38 AM

COLOMBO (NEWS1ST) :  අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී අද (22) දහවල් පැවැත්වීමට නියමිත ය.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද දහවල් 12 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ආණ්ඩුවේ ,පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන්ට දැනුම් දී ඇතැයි, වාර්තා වේ. වත්මන් දේශපාලන තත්ත්වය සහ යුගදනවි බලාගාරයේ 40 %ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි, රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40% ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් දැනටමත් විරෝධය පළ කර තිබේ. ඒ අනුව එම පක්ෂවල නායකයින් පිරිසක් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදි හිටපු ජනාධිපතිවරයා ඊයේ හමුවි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට එහිදී පක්ෂ නායකයින් තීරණය කළ බව එම සාකච්ඡාවට සහභාගී වූ පක්ෂ නායකවරු සඳහන් කළහ.