03 වැනි මාත්‍රාවකට Pfizer ඇනවුම් කරයි..

03 වන මාත්‍රාවක් ලබා දීමට Pfizer එන්නත් මිලියන 14ක් ඇනවුම් කරයි

by Staff writer 21-09-2021 | 1:12 PM

COLOMBO (News 1st)  : මෙරට ජනතාව අවශ්‍ය කොවිඩ් මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාවක් ඇනවුම්කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ, වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනාට අවශ්‍ය එන්නත් මේ වනවිට මෙරටට ගෙන්වා ඇති බවයි.
''එන්නත්කරණ වැඩපිළිවෙළෙහි අවසාන අදියරට අපි මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ, ශ්‍රී ලංකාවේ අවුරුදු 18 වැඩි ජනගහනය ඉන්නේ මිලියන 15.6 ක් හෝ මිලියන 15.7 ක ප්‍රමාණයක් එතකොට මේ වෙනකොට පෙරේදා ආපු ස්පුට්නික් එන්නත් තොගයත් සමග ලංකාවට මිලියන 31.7 ක ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තියනවා. ඒ කියන්නේ අවුරුදු 18 වැඩි සියලු දෙනාටම ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා දෙකම මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා අවසානයයි..''

තුන්වෙනි මාත්‍රාවකුත් දෙනවද ?

ප්‍රතිශක්තිය වැඩිදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය තුන්වන මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය එන්නත් සියල්ල ඇනවුම්කරලා අවසන් බවත් ඒ සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
''විශේෂයෙන්ම ලෝක බැංකුව විසින් මේ එන්නත් සඳහා අවශ්‍ය සියලු මුදල් ඔක්තොම්බර් 1 වෙනිදා වෙනකොට ගෙවනවා. මේ තුන්වෙනි මාත්‍රාව සඳහා අවශ්‍ය නිර්දේශය කළේ, එන්නත්කරණය වසංගත රෝග සම්බන්ධ විශේෂඥ කමිටුව විසින් ඒක කළේ, මැයි මාසේ කරන ලද ඉල්ලීට අනුව තමයි ඒ ඇනවුම් කිරීම කළේ, නමුත් ඒවා ලබාදීම සිද්ධවෙන්නේ මාස 6 කට පස්සේ සාමාන්‍යයෙන් ඔක්තොම්බර් නොවැම්බර් වෙනකොට තමයි මේ එන්නත්කරණ වැඩපිළිවෙළේ තුන්වෙනි මාත්‍රාව සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙන්නේ ඒ සඳහා ආනයනය පැත්තෙන් සියල්ල සුදානම්''

තුන්වන එන්නත කුමක්ද?

RNA තාක්ෂණය සහිත එන්නත් මේ සඳහා සුදුසුයි බවත් ඒ අනුව එන්නත් මිලියන 14 ක් එන්නත් ලබා දීමට ෆයිසර් ආයතනය එකඟ වූ බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ය.
''RNA තාක්ෂණය තියන එන්නත් තමයි මේ සඳහා සුදුසුයි කිව්වේ ලියාපදිංචි කරලා තිබිච්ච ෆයිසර් ආයතනයක් එක්ක සාකච්ඡා කරලා ඒ අය එකඟ වුණා. මිලියන 14 ක් එන්නත් අපට ලබාදෙන්න. ඒ කියන්නේ අපේ ජනගහනයෙන් අපි එන්නත්කරණය කළ යුතු ජනගහනයෙන් 60% ක වගේ ප්‍රමාණයක් මේකට අයිති වෙනවා. ද්විත්ව එන්නත ලබාදීමෙන් පස්සේ එන්නතේ ප්‍රතිශක්තිය අඩුවෙනවා කියලා පෙනුනොත් දිමේ අවශ්‍යතාවයක් තියනවා. නම් ඒ හැම කෙනෙකුටම ඇති ප්‍රමාණයට ඒ එන්නත් ලබාදීමට සියලු එන්නත් ලංකාවට ලබාගැනීමට කටයුතු සුදානම්''

රට සම්පුර්ණයෙන් විවෘත කරනවාද ?

සම්පූර්ණයෙන්ම රට විවෘත කරන්නේ ද යන්න පිළිබඳ තිරණය කිරීමට සිදු වන්නේ, තාක්ෂණික කමිටුවේ තීන්දුව අනුව බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
''තාක්ෂණික කමිටු තමයි තීන්දුකරන්නේ අපේ රටේ රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය දැන් අවදානම් කලාපයෙන් අඩුවුණා කියලා, ඒ දෙන තීන්දුවට අනුව තමයි සම්පූර්ණයෙන්ම රට විවෘත කරන එක අපට තීන්දු කරන්න සිද්ධ වෙන්නේ''