හීලෑ අලි ඇතුන් මුදා හැරීම:අභියාචනාධිකරණයට පෙත්සමක්

හීලෑ අලි ඇතුන් මුදා හැරීමට දුන් නියෝගය අවලංගු කරන්නැයි, ඉල්ලා පෙත්සමක්

by Staff Writer . 21-09-2021 | 8:32 PM

COLOMBO (NEWS1ST) : හිලෑ අලි ඇතුන් 14 දෙනෙකු මුදා හැරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝග අවලංගු කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ සත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් අද (21) අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය.

ඔවුන් එමගින් ඉල්ලා ඇත්තේ හීලෑ අලි ඇතුන් ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා නීති විරෝධි අන්දමින් සන්තකයේ තබා ගෙන සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අලි ඇතුන් මුල් අයිතිකරුවන් වෙත ආපසු භාර දීමට අදාළව වන ජීවි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් පසුගිය අගෝස්තු 19 වැනිදා නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරිම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි. පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ , පරිසර වේදිනියක් වන පංචාලි මධුරංගි පනාපිටිය, මහේෂි මුණසිංහ , විශාකා පෙරේරා තිලකරත්න සහ පී.කේ දිලේනා යන පිරිස පෙත්සම ගොනු කර තිබේ.