රටට හොරා ගිවිසුම් අත්සන් කරලා ඒගොල්ලො රට පැනලා යාවි.. මේ රටේ මිනිස්සු කොහෙද යන්නේ? - හඳුන්නෙත්ති

by Staff Writer . 21-09-2021 | 10:16 PM

COLOMBO (NEWS1ST) : විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විදුලි බලාගාරයේ 40% ක් ඇමරිකානු සමාගමකට විකිණීම පිළිබඳව අද (21) ප්‍රතිචාර දැක්වීය.

විදුලිබල අමාත්‍යවරයා එහිදී පැවසුවේ, මෙම අවස්ථාවේ විශාල ඩොලර් ප්‍රමාණයක් ලැබීම තුළ ලොකු සහනයක් ලැබෙන බවත් බලාගාරයේ 40% දීම තුළින් ආණ්ඩුවට කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බවත් ය.
''ඔය කියන බලාගාරේ මම හිතන විදියට 40% කොටස් දීලා තියනවා. කොටස් වෙළඳපලේ ඕන තරම් දෙන්න පුලුවන්. නමුත් අයිතිය දීලා නෑ.අනෙක් සීයට 60 තියෙන්නේ අපේ සමගම් ලෙකෝ සමාගමට විදුලිබල මණ්ඩලයට තියෙන අනෙක් සහෝදර සමාගම්වලට තියෙන්නේ. මේ වෙළාවේ ලොකු සහනයක් හම්බවෙනවා.ඒ අය විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙවලා තමයි ගන්නේ.ඒකෙන් ලංකා ආණ්ඩුවට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙත් නෑ.අපේ අයිතිය යන්නෙත් නෑ''
එහිදී මාධ්‍ය වේදීන් වැඩිදුරටත් අමාත්‍යවරයාගෙන් මෙලසෙ ප්‍රශ්න කළේ ය. ප්‍රශ්නය : - බාලාගාර සම්බන්ධ ගිවිසුම අත්සන් කරලා අවසන් ද ? අමාත්‍ය ගාමිණී ලොකුගේ (පිළිතුර) : - එකඟතාවය ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නය : - අත්සන් කරලා නෑ තාම ? අමාත්‍ය ගාමිණී ලොකුගේ (පිළිතුර) : - මම ඒක දන්නේ නෑ එක් මගේ යටතේ නෙවෙයි.මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන්නේ. මේ අතර ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ප්‍රිමාල් ප්‍රනාන්දු පවසන්නේ, රටේ සම්පත් විදේශයන්ට විකුණන්නේ නැති බව කියා පිහිටවූ රජය අද හොර පාරෙන් රටේ සම්පත් විදේශයන්ට විකුණමින් සිටින බවයි.
''මම හිතන හැටියට ජනාධිපතිතුමා ඇත්තටම මේ මේවෙනකොට ෆේල්. හැබැයි එතුමාට තව අවුරුදු 02 කට වැඩි කාලයක් තියනවා. පාස් වෙන්න. එතුමාට පාස් වෙන්න ඕන නම්, එතුමා කරන්න ඕන, එතුමාට ජනවරම දුන්න ජනවරමට ගරු කරන්න ඕනි. ඒ ගෞරව කරලා මේ රට හරි පාරේ ගෙනියන්න ඕනි. එතුමාට ගෙනියන්න බැරි නම් ජනතාව ඉස්සරහට ඇවිල්ලා කියන්න ඕනි. මට සමාවෙන්න උඹලා දුන්න ජනවරම මට රැකගන්න බැරුව ගියා. එහෙමනම් මම ඉල්ලලා අස් වෙනවා කියලා. ඒක කරන්න පුළුවන් වෙන්න ඕනි''
ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර සිටින්නේ, ඇමරිකාවේ පුරවැසිභාවය ඇති පිරිස් රටට හොරා ගිවිසුම් අත්සන් කර ඔවුන්ගේ රටවලට ගිය ද මේ රටේ මිනිසුන්ට මේ රට හැර යාමට වෙනත් තැනක් නොමැති බවයි.
''දැන් ඩොලර් මිලියන 250ක් ගන්න තමයි අපි මේ ගිවිසුම් ගහන්නේ. හැබැයි අපි ගෑස් ගන්න යනකොට ගෑස් වෙළදපොළේ අපේ ගෑස් අවශ්‍යතාවයට ඩොලර් මිලියන 5000ක විතර ගෑස් ගන්න වෙනවා. එහෙම ගෑස් සැපයුමක් දෙන්න පුළුවන් සමාගමක් ද මේ ඇමරිකන් සමාගම. මොන ටෙන්ඩර් පටිපාටියකින්ද මේ අය කැදෙව්වේ, ඒ අයගේ සුදුසුකම් හොයලා ද මේක දෙන්නේ. දෙන එක අපි පිළි නොගත්තත් දෙන එක උනත් දෙන්න තියන ක්‍රමවේදයටද මේ ගිහින් තියන එක සම්බන්ධයෙන් රට දැන් ප්‍රශ්න කළ යුතු කාලෙට දැන් ඇවිල්ලා තියනවා. මෑත ඉතිහාසයේ ලංකාවේ සිද්ධ වෙන දැවැන්තම මගඩිය බවට පත්වේවි මේ හොර රහසේ සිද්ධ කරන අමෙරිකන් ගනුදෙනු. අන්තිමට රටට හොරා ගිවිසුම් අත්සන් කරලා ඒගොල්ලෝ රට පැනලා යාවි, ඒගොල්ලන්ගේ රටවලට යයි, ඒගොල්ලන්ට පුරවැසිබාවය තියෙන්නෙත් ඇමරිකාවේ''