පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ඉල්ලා අස්වෙයි

by Staff Writer . 21-09-2021 | 9:18 PM

COLOMBO (NEWS1ST) :  පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා අද (21) ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සුදුළූණු වංචාව ඇතුළු පාරිභෝගික ජනතාවට අහිතකර බලපෑම් එල්ල වන කරුණු ගණනාවක් තුෂාන් ගුණවර්ධන මහතා පසුගිය දිනවල අනාවරණය කළේ ය. සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත් බවයි. තව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ , අධ්‍යක්ෂවරයාට කිසිදු ආකාරයක බලපෑමක් සිදු කර නොමැති බවයි. තව ද ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක තනතුරුවලින් ඉල්ලා අස්වීමේ අයිතියෙක් ඇති බවයි. මේ අතර පාරිභෝගික අධිකාරියේ සහ යම් යම් ආයතනවල නිලධාරීන් ඉවත්වීම පිළිබඳව අද මාධ්‍යවේදීන් වෙළෙඳ අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතාගෙන්   විමසා සිටියේ ය. මේ ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා..
''අපි පළපුරුදු දේශපාලනඥයෝ ඕනි පිස්සන් කොටුවක පිස්සො කලබල වුණාට, දොස්තර කලබල වෙන්නේ නෑ. ප්‍රචණ්ඩ දේශපාලන උරුමකරුවො නෙවෙයි අපි''
මේ අතර කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් හා සිමෙන්ති මිල ගණන් වැඩි කිරීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ ය.
''අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වීම අනුව යම්කිසි ආකාරයකට වැඩි වීමකට යන්න සිදු වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි මේ සුමානේ තීරණයක් ගන්නවා. විශේෂයෙන්ම සහල්, පිටි, කිරිපිටි, ගෑස්, සිමෙන්ති පිළිබඳ අපි මේ සුමානේ අපි අවසාන තීරණයක් ගන්නවා''