“නඩු භාණ්ඩ තමයි මේ නැතිවෙලා තියෙන්නේ”

NMRA දත්ත මගඩිය: නඩු භාණ්ඩ තමයි මේ නැතිවෙලා තියෙන්නේ - චන්න ජයසුමන

by Staff writer 20-09-2021 | 10:19 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩ් දත්ත පද්ධතියේ ගබඩා කර තිබූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී මේ වනවිට මාස 02ක් ඉක්මවා තිබේ.

අපේ රටේ ඖෂධ හා වෛද්‍ය උපකරණ ගෙන්වීමේදී ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අත්‍යවශ්‍ය අතර බලපත්‍ර අලුත් කිරීම ද සිදු කළ යුතුයි. දැන් මාස 2 කට අධික කාලයක සිට අතුරුදන්ව ඇත්තේ මෙම දත්තයි. ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධීක්ෂණය ශ්‍රී ලංකා රජයේ දත්ත පද්ධතිය ක්‍රියාත්මක වන අතර ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය සකස්කර ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව සිදු කළේ පෞද්ගලික සමාගමකි. තවමත් මේ සිද්ධියට අදාළව විමර්ශන සිදුවන අතර නිශ්චිතවම වගකිය යුතු පුද්ගලයින් අනාවරණය කර නැත. මේ අතර ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද ප්‍රකාශ කළේ, නඩු භාණ්ඩ ලෙස තිබූ දත්ත ද මැකී ඇති බවයි. ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,
මේ මැකිලා ගිය දත්ත බහුතරයක් තියෙන්නේ මේ වෙනකොට ඖෂධ ජාවාරම ගැන විමර්ශන කටයුතු කෙරෙන ඒ ඖෂධවලට අදාළව සහ සමාගම්වලට අදාළව තමයි තියෙන්නේ. මේකෙන් වාසිය තියෙන්නේ කාටද කියලා කල්පනා කරලා බලන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙච්චර කල් මකන්නේ නැතුව ඇයි දැන් මැකුවේ. අපි දන්නවා සමහර නඩු තීන්දු දෙන්න ඉස්සර වෙලා ඒ නඩුට අදාළ භාණ්ඩ ගිනි තිබ්බා කියලා දේවල් අපි අහලා තියනවා. මේකත් ඒවගේ වැඩක්. දැන් වැරදිකරුවන්ට, මාෆියාකාරයින්ට, ජාවාරම්කාරයින්ට විරුද්ධව පරීක්ෂණ කටගෙන යනකොට වැරදිකාරයෝ අහුවෙනකොට ඒවායේ නඩු භාණ්ඩ තමයි මේ නැති වෙලා තියෙන්නේ.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා,
අපි කියන්නේ මේ වෙලාවේ කළ යුතු හොඳම දේ තමයි අර ඖෂධ නිෂ්පාදනය අර ගෙන්වීම සහ බෙදාහැරීම භාර ඒ කණ්ඩායමෙන් මේ ඖෂධ නියාමන අධිකාරිය ගලවලා ඒක අඩුම තරමේ කැබිනට් අමාත්‍යවරයාගේ සෘජු අධීක්ෂණයට පත් කරන්න. එහෙම නැත්නම් මේ වෙලාවේ වෙන කිසිම පරීක්ෂණයක් ස්වාධීනව වෙන පරීක්ෂණයක් හෝ ඉන් අපිට මේකට අදාළ පාර්ශවයන් නිවැරදිව හෙළිදරව් කරගන්න පුළුවන් කියන හැගීම අපිට නෑ. ඒ නිසා ඒ පරීක්ෂණය කරන්නෙත්, ඒ හොරකමට සම්බන්ධ වෙන්නෙත් එකම කල්ලියක් නිසා අපිට වාර්තාව එයි හෙට අනිද්දාට කිසිම දෙයක් වෙලා නෑ කියලා.