සරත් වීරසේකර හිට්ලර් වෙන්න හදන්නේ..

සරත් වීරසේකර නිසා තමයි ගුරු උද්ඝෝෂණ මෙච්චර දුර ගියේ.. - ජගත් කුමාර

by Staff writer 20-09-2021 | 2:48 PM

COLOMBO (News 1st) - පාදුක්ක පොලිස් ස්ථානාධිපති පත් කළේ කාගේ දේශපාලන හිතවත්කමක් මත ද ?

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ජගත් කුමාර මහතා සහ ඇමති වීරසේකර මහතා අතර මත ගැටුමක් ඇතිව තිබෙන්නේ මේ කාරණය මුල්කරගෙනයි. ඊයේ (19) අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් කුමාර මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂය දැනුවත් කළ බවය. අද (20) පැවති මාධ්‍ය හමුවකදී ජගත් කුමාර මහතා ඊට ප්‍රතිචාර දැක්විය. ඔහුට විරුද්ධව විනය පරීක්ෂණ තියන්න හදන්නේ ඉතිහාසය නොදන්න අය බවත් ඕනෑම විනය පරීක්ෂණයකට තමා සූදානම් බවත් ජගත් කුමාර මහතා කියා සිටියේය. තවද ගුරු උද්ඝෝෂණය මෙතරම් දුර ගියේ ඇමති සරත් වීරසේකර මහතාගේ ක්‍රියාපිළිවෙත නිසා බව ජගත් කුමාර මහතා අවධාරණය කළේය. මෙවැනි ක්‍රියා තුළින් අමාත්‍ය සරත් වීරසේකර මහතා හිට්ලර් කෙනෙකු විමට සැරසෙන බව ද ජගත් කුමාර මහතා කියා සිටියේය. තමන්ට පෙර විනය පරීක්ෂණ පැවැත්විය යුත්තේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට බව ජගත් කුමාර මහතා පවසයි. තමන්ට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන්නේ නම් සමහරු ඇමතිවරුන්ගේ හංගපුවත් එළියට ගැනීමට සිදුවේ යැයි ජගත් කුමාර මහතා අනතුරු ඇඟවීමක් ද කළේය.