ජනපති සාකච්ඡාවකට දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කරයි..

ජනපති සාකච්ඡාවකට දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කරයි..

by Staff writer 20-09-2021 | 1:02 PM

COLOMBO (News 1st) – ආගමික අන්තවාදය පිළිබඳව ශ්‍රී ලංකාව මෙන්ම සෙසු රාජ්‍යයන් ද සුපරීක්ෂාකාරී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවරදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ඊයේ (19) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා හමු වූ අවස්ථාවේදීය. එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා අමෙරිකාවේ, නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා හමුවූයේ නිව්යෝර්ක් නුවර එම සංවිධානයේ මූලස්ථානයේදීය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳා ගැනීම සඳහා සාකච්ඡාවකට එක්වන්නැයි දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කරන බව ජනාධිපතිවරයා මෙම හමුවේදී මහ ලේකම්වරයාට දැනුම් දී ඇත. ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සැමවිටම සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි. නැවත බෙදුම්වාදයක් ශ්‍රී ලංකාව තුළ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත් ආගමික අන්තවාදය පිළිබඳව රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන් ද සුපරීක්ෂාකාරී විය යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම හමුවේදී පෙන්වා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව මෙහිදී මහලේකම්වරයා ප්‍රකාශ කළ බවයි. ඉන්දීය සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව ද ඇන්ටෝනියෝ ගුටරේස් මහතා මෙම හමුවේ දී පවසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක් වූ බවයි. මේ වනවිට සමස්ත ජනගහනයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති අතර නොවැම්බර් මාසය අවසන්වීමට පෙර වයස අවුරුදු 15 ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ සංඛ්‍යා ලේඛන සහිතවයි. 2019 වසරේ ධූරයට පත් වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. ඔහු මහ ලේකම්වරයාට පෙන්වාදී ඇත්තේ, එම තත්ත්වය හමුවේ වුව ද වසර 30 කට අධික කාලයක් පැවති යුද්ධයේ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට වින්දිතයින්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම ඇතුළු කරුණු ගණනාවක් ඉටු කර ඇති බවය. ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බවත් නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් ජනාධිපතිවරයා මෙම හමුවේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට දැනුම් දී තිබේ. මෙම හමුව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ, සංහිදියා ක්‍රියාවළිය ඇතුළු අභ්‍යන්තර ක්‍රියාවළිය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහ ලේකම්වරයාට පැහැදිලි කළ බවයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබාදෙන බව මහ ලේකම්වරයා තවදුරටත් සහතික කර ඇති අතර සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ හා සිවිල් කටයුතුවල වැදගත්කම පිළිබඳව එක්සත් ජාතීන්ගේ දැක්ම ද නැවත අවධාරණය කර තිබේ.