UPDATE: හම්බන්තොට නගරාධිපතිට ඇප..

UPDATE: හම්බන්තොට නගරාධිපතිට ඇප..

by Staff writer 19-09-2021 | 12:17 PM

COLOMBO (News 1st) – පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැරිණි .

පොලීසිය සඳහන් කළේ, සිද්ධිය පිළිබඳ ඉදිරි කටයුතු සමථ මණ්ඩලයට යොමු කරන බවය. එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ අද(19) පෙරවරුවේදී ය. පහරකෑමට ලක් වූ පුද්ගලයා කළ පැමිණිල්ලකට අදාළව බම්බලපිටිය පොලීසිය පසුගියදා විමර්ශනයක් ආරම්භ කළේ ය. පැමිණිල්ලේ දැක්වුණේ පසුගිය 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12.40 ට පමණ බම්බලපිටිය කොතලාවල ඇවිනිව්හී ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළුවී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පහර දුන් බවය. ප්‍රාඩෝ රථයක් ඇතුළු වාහන දෙකකින් පැමිණී පිරිසක් විසින් පරුෂ වචනයෙන් බැන වැදී තමා සහ අනෙක් ආරක්ෂක නිලධාරීයාට පහර දුන් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ වනවිට හෙළි වී ඇත්තේ , නගරාධිපතිවරයා කඩා වැදුණු ඉඩම පිළිබඳව අධිකරණයේ නඩු කටයුතු ක්‍රියාත්මක බවය. එරාජ් ප්‍රනාන්දු මහතා 2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරකාවකට එක් වූ අවස්ථාවේදී , ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව මීට පෙර සිරසඬුවම් ලැබුවේ ය. එමෙන්ම මීට මාස කිහිපයකට පෙර කොළඹ ප්‍රධාන පෙලේ ඉඩමක් සම්බන්ධයෙන්ද එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සමාජයේ දැඩි කතාබහට ලක් විය.