''වැව සහ වැව් බැම්ම පූජනීයයි...'' - හිටපු ජනපති

''සිංහල රජ කාලෙ වැව් බැම්ම උඩින් කාටවත් යන්න දීලා නෑ. වැව සහ වැව් බැම්ම පූජනීයයි'' - හිටපු ජනපති

by Staff Writer . 19-09-2021 | 8:52 PM

COLOMBO (NEWS1ST) :  සිංහල රජ දවස වැව් බැම්ම උඩින් කිසිවෙකුට හෝ යාමට ඉඩ දී නැති බවත් එතරම්ම වැව සහ වැව් බැම්ම පූජනීයත්වයෙන් සලකා ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ,  පුරා විද්‍යාත්මක, තාක්ෂණික සහ පාරිසරික යන ඕනෑම තත්ත්වයකින් සලකා බැලීමේදී පෙර රජ කාලයේ වැව් බැමිවලට අත තැබීම නුසුදුසු බවයි. නිදහස් පක්ෂයට වසර 70 සපිරීම නිමිත්තෙන්, අද (19) දකුණු තලංගම මයුරපාද පිරිවෙණේ පැවති ලේ දන්දීමේ වැඩ සටහනකට සහභාගිවෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ය. තව ද අනෙකුත් දේ මෙන් අනුරාධපුර අටමස්ථානය , පොළොන්නරුව සොළොස්මස්ථානය නවීන තාක්ෂණය භාවිත කර නවීකරණය කිරීමේ හැකියාව තිබුණ ද එය එසේ නොකරන්නේ, ඒවායේ ඇති කෞතුක සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සැලකීමේදී එලෙස නවිකරණය කළ නොහැකි බව හිටපු ජනාධිපතිවරයා මෙලෙස පැහැදිලි කළේ ය.
''කිව්වොත් සීගිරි ගල උඩ හෙලිකොප්ටර් බස්සන්න හදන්න කියල පුළුවන්. හෙළිපෑඩ් එකක් හදන්න පුළුවන්. හැබැයි ඇයි හදන්නේ නැත්තේ? විදේශිකයින්ට වාගේම අපේ අයට උඩින් ගිහින් බලාගෙන පහළට පඩි පෙළේ එන්න පුළුවන්. ඒ වගේ තමයි වැව සහ වැව් ගැමි රජකාලේ ඒවා පරාක්‍රම සමුද්‍රයේ ගත්තාම බොහොම වැදගත්. පරණ කාලේ හැමදේම නවීකරණය කරනවා නම්, අනුරාධපුර අටමස්ථානය පොලොන්නරුව සොළොස්මස්ථානය නවීන තාක්ෂණය තුළ හදන්න පුලුවන්නේ ඇයි එහෙම හදන්නෙ නැත්තේ?. කෞතුක වටිනාකම පුරාවිද්‍යා වටිනාකම හින්දා. සිංහල රජ කාලෙ වැව් බැම්මක් උඩින් කාටවත් යන්න දීලා නෑ. වැව සහ වැව් කණ්ඩිය පූජනීයයි. ඓතිහාසික පුරා විද්‍යාත්මක තත්ත්වය ගත්තත් තාක්ෂණික තත්ත්වය ගත්තත් පාරිසරික තත්ත්වය ගත්තත් වැව් බැමිවලට, පෙර රජ කාලේ වැව් බැමි වලට අත තැබීම සුදුසු නෑ''