හෙරොයින් ජාවාරම්කරුවන් 09 රඳවා තබා ප්‍රශ්න කෙරේ..

වැඩ වැරදුණු හෙරොයින් ජාවාරම්කරුවන් 09 දෙනා රඳවා තබා ප්‍රශ්න කෙරේ..

by Staff writer 19-09-2021 | 3:28 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් සමග නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් 09 දෙනා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පියවර ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් සියලු දෙනා පකිස්ථාන ජාතිකයින් බවයි. සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ කටයුතු සඳහා භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබා ගැනීමට ද පියවර ගෙන ඇත. එලෙස නාවික හමුදා භාරයට ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 170 යි ග්‍රෑම් 866 කි. එහි වටිනාකම රුපියල් මිලියන 1575 කට අධිකය. පසුගිය 10 වැනි දා විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනා සමග අදාළ යාත්‍රාව නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවේ ය. සැකකරුවන් හා යාත්‍රාව ඊයේ(18) උදෑසන කොළඹ වරායට රැගෙන එනු ලැබුවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිදුරළ නෞකාවේ ආරක්‍ෂාව යටතේයි.