රෑ12 .06 ට ගිවිසුම් අත්සන් කරන්න, බකමූණො ද? නිශාචරයො ද?- අනුර කුමාර දිසානායක

by Staff Writer . 19-09-2021 | 9:43 PM

COLOMBO (NEWS1ST) : විදුලිය උත්පාදනය හා ස්වභාවික ද්‍රව වායු හෙවත් LNG සැපයීමට අදාළව රජය ඇමරිකානු සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කර ඇතැයි, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19) අනාවරණය කළේ ය.

කෙරවළපිටියේ දැනට ක්‍රියාත්මක වන මෙගවොට් 350 ක යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට්කෝස්ට් සමාගමේ කොටස්වලින් මහාභාණ්ඩාගාරයට අයත් 40% ක් ඇමරිකාවේ නිව් පෝට්ට්‍රෙස් නමැති සමාගමට විකිණීමට යෝජනා ඉදිරිපත්වී තිබිණ. මීට අමතරව විදුලි බලාගාරයට ස්වභාවික ද්‍රව වායු හෙවත් LNG සැපයීමට අදාළ පාවෙන ගබඩාව හා නළ පද්ධතිය ඉදිකිරීම හා පවත්වාගෙන යාම ද අදාළ සමාගමට පැවරීමට යෝජනා විය. මේ ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳව සිදු කළ අනාවරණයයි.
''මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ 2021.09.06 වෙනිදා මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරනකොට කිසි ඇමතිවරයෙක් ගාව මේ කැබිනට් පත්‍රිකාව නෑ. දැකලා නෑ. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කරනවා. අනුමත කරලා කියනවා. මෙහෙම කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය අනුමත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත. අත්සන් කරාට පස්සේ මොකක්ද අනුමත කරන්න කියන්නේ. අත්සන් කරලා ඉවරයි. ඒ නිසා මොකක්ද වුණේ, 17 නොනිදා රෑ මේ රට ඓතිහාසිකයි මේ වගේ ගිවිසුමක් කීයේද අත්සන් කළේ, මා දැක්කා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ 17 වෙනිදා රෑ 12 පසුවි විනාඩි 06 ට සිකුරාදා රාත්‍රීයේ රෑ 12 ට ගිවිසුම් අත්සන් කරනවා, රට ගැන අත්සන් කරලා ආපු සුද්දා පාන්දර 2 ට තියෙන ෆලයිට් එකේ ඇමරිකාවට යනවා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවට යනවා. ඕකයි සිද්ද වුණේ, ඔබ හිතනවාද මේ රටේ රෑ 12 .6ට ගිවිසුම් අත්සන් කරන්න. බකමුණො ද මේ ගොල්ලෝ. නිසාචරයින්ද? දැන් මොකද වෙන්නේ බලශක්ති ක්ෂෙත්‍රයේ අයිතිකාරයා තමයි හෙට අපේ රටේ ආණ්ඩු තීරණය කරන්නේ මෙය වළක්වා ගැනීම සඳහා අපි නීතිමය ක්‍රියාමාර්ගවලට යන්න අපෙක්ෂා කරනවා. නීතිඥ කණ්ඩායමකට භාරදිලා තිබෙනවා. මෙය අධ්‍යනය කරන්න මේ කොවිඩ් තත්ත්වයක් ඇතුලේ මතක තියාගන්න කෙනෙකුට පාරට බහින්න බෑ. මේ සියල්ල ගුහා ගතකරමින් රටට අහිතකර තීන්දු තීරණ මේ පාලකයන් ගනමින් තිබෙනවා''
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පළ කළ අදහස මේ...
''මම දැක්කා ඔවුන් කියනවා ඩොලර් බිලියන දෙසිය ගාණක තෙල් තියෙනවා එකෙන් විතරයි ලංකාව දියුණු රටක් කරන්න පුළුවන් කියලා. ඒ අතරතුරේ අපි දකිනවා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා හදිසියේම ලංකාවේ දැනට තියන සියලු බලාගාරවලට LNG ලබා ගැනිමට සහ පරිවර්තනය කලායින් පස්සේ ඉදිරියේදි ඉදිවන සියලු බලාගාරවලට LNG ලබා ගැනිම සඳහා නිව් පෝට්ට්‍රෙස් කියන ඇමරිකානු සමාගමත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න අනුමැතිය ලබා ගත්තා ලු. එකෙන් කියන්නේ කෙරවල පිටිය යුගදනවි බලාගාරය 40 % ක් ඩොලර් මිලියන 250 කට විකුණන්නත් එකඟ වුණා ලු. දැන් මේතන ලොකු පරස්පරයක් තියෙනවා. LNG මන්නාරමෙන් හොයා ගන්නවා නම් ඒකට කිසිදු ඉල්ලුමක් ඇති වෙන්නේ නෑ, මේ නිව් පෝට්ට්‍රෙස් ගනුදෙනුවනේ කියලා ''
පෙරටුගාමි සමාජිවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ, එක් අතකින් මෙය බලශක්ති ස්වරීත්වයට ප්‍රශ්නයක් බවත් තව ද බලශක්තිය මත ගෙදර ලයිට් එක දාගන්න නම්, ඇමරිකාවේ දේශපාලන බලපෑමට යුධ බලපෑම්වලට එකඟ වීමට සිද්ධ විය හැකි බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ, තෙල් බෙදා හැරිමෙන් තුනෙන් එකක් ඉන්දියාවට ලබාදී ඇති බවත් මුතුරාජවෙල අක්කර 109 ක් ගොඩකර චීන සමාගමකට විදුලි බලාගාරයක් පිහිටුවීමට ඉඩ දී ඇති බවත් මේ අනුව රටේ බලශක්ති සම්බන්ධ සම්පූර්ණ තීරණ ගන්නේ ඇමරිකාව, චීනය සහ ඉන්දියාව බවයි.
''එක පැත්තකින් මේක බලශක්ති ස්වරීත්වයට ප්‍රශ්නයක්. එතනින් පස්සේ බලශක්තිය මත අපිට ගෙදර ලයිට් එක දාගන්න නම් ඇමරිකාවේ දේශපාලන බලපෑමට යුධ බලපෑම්වලට එවට එකඟ වෙන්න සිද්ද වෙනවා. සමස්ත තෙල් බෙදා හැරිමෙන් තුනෙන් එකක් ඉන්දියාවට ලබාදුන්නා. මුතුරාජවෙල අක්කර 109 ක් ගොඩකරලා චීනයේ විදුලිබලාගාරයක් චීන සමාගමකට අයත් විදුලි බලාගාරයක් දැන් හදමින් යනවා. ඊට පස්සේ ලංකාවේ බලශක්ති සම්බන්ධ සම්පූර්ණ තීරණ ගන්නේ ඇමරිකාව චීනය සහ ඉන්දියාව. මේක සිද්ද වෙන්නේ පාර්ලිමේන්තුවට සම්පූර්ණ පිටස්තරව. මොක්ද වසංගතයට වඩා භායනකයි මේවා. ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂ නැවත පැනලා යයි තමන්ගේ රටට ගියාට පස්සේ ලංකාව තුළ හිරවෙන්නේ මේ නිලධාරීන් ඒ නිසා අපි නිලධාරීන්ට කියනවා. මේවට මැදිහත් වෙන්න ඒපා මේවට අත්සන් කරන්න ඒපා''