මහ මුහුදේ සිදුවන කහ ජාවාරමක් වටලයි..

මහ මුහුදේ සිදුවන කහ ජාවාරමක් වටලයි..

by Staff writer 19-09-2021 | 3:19 PM

COLOMBO (News 1st) - නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ තොගයක් සමග සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නාවික හමුදාව මන්නාරම, සවුත්බාර් හා ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශවල දින 03 කදී කළ මෙහෙයුම්වලදීය. නාවික හමුදාව භාරයට ගෙන ඇති වියළි කහ ප්‍රමාණය කිලෝග්‍රෑම් 3704 අධිකය. අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අතර ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු ද සිටී. මන්නාරම දකුණු මුහුදේ කළ මෙහෙයුමකදී සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ අන්තර් ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුල්වී තිබූ සැකකටයුතු ඉන්දීය ඩව් යාත්‍රාවක් නාවික හමුදාව පරීක්ෂා කර තිබේ. එහි තිබී සොයාගෙන ඇති වියළි කහ ප්‍රමාණය කිලෝග්‍රෑම් 2100 කි. ඒවා මුහුදේදීම මෙරට යාත්‍රාවන්ට හුවමාරු කර ගොඩබිමට රැගෙන ඒමට ජාවාරම්කරුවන් විසින් සැලසුම් කර ඇතැයි නාවික හමුදාව සැක පළ කළේ ය. මන්නාරම, සවුත්බාර් කලපු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම කලපුව ඔස්සේ ගොඩබිමට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කර ඇති අතර එහි තිබී කහ කිලෝග්‍රෑම් 866 ග්‍රෑම් 200 ක් සොයාගෙන තිබේ. ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමේදී සොයා ගත් වියළි කහ ප්‍රමාණය කිලෝග්‍රෑම් 738 ග්‍රෑම් 700 කට අධිකය.