නැව්වල දැවිතෙල් ගංගාවලට මුදා හැරීමක් ගැන අනාවරණයක්

නැව්වල දැවි තෙල් ටොන් ගණන් ගංගාවලට මුදා හැරීමක් ගැන අනාවරණයක්

by Staff writer 19-09-2021 | 3:14 PM

COLOMBO (News 1st) - මෙරට වරායන්ට පැමිණෙන නැව් වලින් බැහැර කරනු ලබන දැවි තෙල් ටොන් 20,000ක් වාර්ෂිකව පරිසරයට නීති විරෝධීව මුදාහරින බව අනාවරණය වී තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන නිලධාරීන් මේ බව සඳහන් කළේ, අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදීය. දැවිතෙල් අපහරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් බලපත්‍ර ලබා දී ඇති පුද්ගලයින් හා ආයතන සංඛ්‍යාව 27කි. නමුත් ඒ අතරින් දැවිතෙල් පිරිපහදු පහසුකම් ඇති ආයතන ගණන 04 ක් බව මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන නිලධාරීන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේ ය. වාර්ෂිකව එම ආයතනවලට පිරිපහදු කළ හැකි දැවිතෙල් ප්‍රමාණය ටොන් 4800 කි. ඉතිරි දැවිතෙල් ටොන් 15,200ට සිදු වන්නේ කුමක්දැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී විමසුවේ ය. පිරිපහදු පහසුකම් නොමැති පුද්ගලයින් විසින් ලබා ගන්නා දැවිතෙල් රාත්‍රී කාලයේ බවුසර් මගින් ගෙන ගොස් ගංගා හෝ ඇළ මාර්ගවලට එක් කරන බව‍ට තොරතුරු හෙළි වී ඇතැයි විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළහ. එහි ඉතාමත් විෂ සහිත බැර ලෝහ අඩංගු වන බැවින් එය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසකට එළැඹ තිබේ. ඒවා මෙසේය.. ඒ අනුව දැවිතෙල් මගින් රටට ලැබිය යුතු විදේශ විනිමය ඩොලර්වලින් ලබා ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා සමුද්‍රීය පරිසරික ආරක්ෂණ අධිකාරිය සමග ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කිරීම. මින්පසු දැවිතෙල් බලපත්‍ර වාර්ෂිකව ලබාදීමේ දී පිරිපහදු පහසුකම් ඇති ආයතන හා පුද්ගලයින්ට පමණක් නිකුත් කිරීම. දැනට ගබඩා කර ඇති දැවිතෙල් පරිසරයට බැහැර කරන ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදු කිරීම. දැවිතෙල් ලබා ගැනීමට බලපත් ලබා ගෙන ඇති ආයතන හා පුද්ගලයින් වහාම නියාමණයට ලක් කිරීම. දැවිතෙල් පරිසරයට මුදාහරින පුද්ගලයින් හා ආයතන සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා දැනට ඇති දඬුවම් වැඩි කිරීමට පියවර ගැනීම දැවිතෙල් පිරිපහදුව සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉදිකිරීමට යෝජිත පිරිපහදු පහසුකම් නැංවීම එම තීරණ අතරට ඇතුළත් ය.