ජනපති අමෙරිකාවට ළඟා වෙයි..

ජනපති අමෙරිකාවට ළඟා වෙයි..

by Staff writer 19-09-2021 | 9:11 AM

COLOMBO (News 1st) –එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව් යෝර්ක් නුවරට ළඟා වී තිබේ .

ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණි ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා විසින් ය. එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව 21 වැනි අඟහරුවාදා ආරම්භ වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 22 වැනිදා සමුළුව ඇමතීමට නියමිත ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ මෙවර තේමාව වන්නේ , "කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීමයි" මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට (20) පෙරවරුවේ ආරම්භ වනු ඇති. ඊට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයන් මේ වනවිටත් නිව් යෝර්ක් නුවරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ලබන 23 වැනි දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වැනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීමට නියමිතය. සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ද මෙම සංචාරයට එක්ව සිටී.