වයින් ස්ටෝර්ස් විවෘත කිරීමට අපි සම්බන්ධ නැහැ..

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ -නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 18-09-2021 | 1:45 PM

COLOMBO (News 1st) – වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(18) පැවති මාධ්‍ය හමුවකදීය. 1897 අංක 03 දරණ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පනවා ඇති නිරෝධායන රෙගුලාසි අනුව නිසි බලධාරියා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයායි. ඔහු විසින් පසුගිය 11 වැනිදා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පැනවූ නිරෝධායන ඇදිරි නීතීය මේ වනවිට දීර්ඝ කර තිබේ. එම තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමේදී ඔහු විසින් කිසිදු මත්පැන් අලෙවිසැලක් විවෘත කළ හැකි බවට දක්වා නොමැත. අද(18) දහවල් අප යළි කළ විමසීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, තමන් දැනුවත්ව මෙම අවස්ථාවේ නිසි බලධරයා වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සදහා කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බවය. කෙසේවෙතත් වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරිමට අවසර දී ඇති බව ඊයේ(17) සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මේ අතර නිවේදනයක් නිකුත් කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙවැනි සිදුවීම් වලින් විය හැකි හානිය පිළිබඳව තමන් අනතුරු අඟවන බවය. රජයට ආදායම් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බව තම සංගමය පිළිගන්නා නමුත් විශාල ජනකායක් පෝලිම් ගැසී මත්පැන් අලෙවිසැල් අසළ සිටීම තවත් පොකුරක් නිර්මාණයවීමට ඉඩකඩ සලසන්නක් බව ඔවුන් පෙන්වා දෙන්නේය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ එම තත්ත්වය මීට පෙර පැණි මිලදී ගැනීමට එක්රැස්වූ ජනතාව ආවර්ජනය කරන්නක් බවය. ජනතාවට අවශ්‍ය දේවල් මිලට ගැනීම සඳහා ආරක්ෂිත වැඩපිළිවළක් සකස් කරන ලෙස ඔවුන් සිය නිවේදනය මගින් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.