පරාක්‍රම සමුද්‍රය වෙනුවෙන් සුසුම් හෙළන ගොවීන්..

අපේ තරුණ තරුණියන් ගිහිල්ලා, ජොගින් කරන්නද? පිස්සු.. - පොළොන්නරුවේ ගොවීන්

by Staff writer 18-09-2021 | 11:01 PM

COLOMBO (News 1st) - පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මංතීරුවත් මේ දිනවල සංවාදයට ලක් වූ කරුණකි.

ඒ පිළිබඳව අදහස් දැක්වීමට පොළොන්නරුව අලුත්වැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අද (18) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. මාධ්‍ය හමුව ආරම්භ කිරීමට පෙර, අලුත්වැව ගොවි සංවිධානයේ ගොවීන් පිරිසක් පැමිණ සිය විරෝධය පළ කළහ. අලුත්වැව නැගෙනහිර ගොවි සංවිධානයේ සභාපති, ඩී.කේ.ඩී.විජේරත්න මහතා,
රොෂාන් මහත්තයට පක්ෂපාතී හාමුදුරුවරු ටිකක් ගෙනල්ල අලුත්වැව පන්සලේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. අපේ පන්සලේ. මාර වැඩක්. ඒගොල්ලන්ට මේක කරන්න ඕනේ කොමිස් ගහන්න හොරකම් කරන්න ඕනේ කරොත් තමයි හොරකම් කරන්න පුළුවන්. ඒක නිසා තමයි කරන්න දගලන්නේ. අපේ තරුණ තරුණියන් ගිහිල්ලා ඕකේ ජොගින් කරන්නද? පිස්සු...
ප්‍රශ්නය,
මෙහෙ කට්ටිය නෙවෙයි ද ?
පිළිතුර,
නෑ නෑ දිඹුලාගල ඉන්නවා එහෙම නේ ඉන්නේ.
ප්‍රශ්නය,
පන්සලකට ඕනෙ කෙනෙක්ට එන්න පුළුවන් නේ?
පිළිතුර,
ඒකට ප්‍රශ්නයක් නෑ. දැන් මේ කරන්නේ මේකට කීපදෙනෙක් විරුද්ධ බහුතරක් කැමතියි කියලා හෙට දවසෙ රොෂාන් මහත්තයාගේ තරුණ සංගමයෙන් කරනවා බන්ට් එකට ගෙනල්ලා ඒ මොකක්ද? රටේ මතයක් හදනවා ඒ ගොල්ල නෙවෙයි මෙහෙම පිරිසකුත් ඉන්නවා කියලා.
ගොවීන්,
දිවිහිමියෙන් රැක ගන්න ඕනේ අපේ වැව. මංතීරු හදලා වැඩක් නෑනේ.
ගොවීන් පිටව ගිය පසුව මාධ්‍ය හමුව පැවැත් විය. පොළොන්නරු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පූජ්‍ය දඩුබැඳිරුප්පේ උපනන්ද හිමි,
නගර සංවර්ධනය යටතේ මේ කාර්යය ඉතා දැකුම්කළු විදිහට ප්‍රසන්න විදිහට විය යුත්තක්. මේ සඳහා ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. මේ නිසා මේ ගැන ජනතාව දැනුවත් කරන්න සාකච්ඡා කරන්නට රට වාසීන් දැනුවත් කරන්නට මේ අවස්ථාව ඉතා වැදගත් වෙනවා. මේ සඳහා තමයි මහා සංඝරත්නය වැඩම කර සිටින්නේ. බලයට පත්වෙන මැති ඇමති තුමන්ලාට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැතුව බාධා කරනවා නම් ඒක මේ ජාතියේ අවාසනාවන්තකමක්.
පූජ්‍ය දිඹුලාගල හෙනානිගල චූලපන්තකාලංකාර හිමි,
අපි එදා කරත්තෙන් ගියා කියල අද කරත්තෙන් යන යුගය නෙවෙයි. විසි එක්වන සියවස කියන්නේ ඉතා හොඳින් කල්පනා කරලා වැඩ කරන්න ඕනේ කාලයක්. covid වසංගතය අස්සේම මේ වගේ සංවර්ධන කටයුතු කිරීම ගැන විශේෂයෙන් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් රජයටත් පොළොන්නරු දිස්ත්‍රික්කයෙහි මැති ඇමතිවරුන්ටත් අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.