Online ඉගැන්වීම්වලට බලපෑමක්ද? දැනුම්දෙන්න

Online ඉගැන්වීම්වල නිරත පාසල් ගුරුවරුන්ට සිදුවන බලපෑම් ගැන පැමිණිලි කරන්නැයි පොලීසියෙන් දැනුම් දීමක්..

by Staff writer 17-09-2021 | 9:14 AM

COLOMBO (NEWS1ST) : මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටින පාසල් ගුරුවරුන්ට එය නොකරන ලෙසට යම් පුද්ගලයෙකු විසින් කුමන හෝ ආකාරයකින් තර්ජනය කරන්නේ නම්, ඒ පිළිබඳව පැමිණිලි කරන්නැයි පොලීසිය දැනුම් දෙයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) , 119 දුරකතන අංකයට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණිලි කළ හැකිය. ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව නිවැරැදිව හා ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා, පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම හා තර්ජනය කිරීම වරදක් වන බැවින් එවැනි පුද්ගලයින්ට එරෙහිව විශේෂ අවදානයක් යොමු කරන බව, පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.