දත්ත මගඩියේ මහ මොළකරු තවමත් නිදැලලේ..

NMRA දත්ත මැකීයාමට සම්බන්ධ මහ මොළකරු තවමත් නිදැලලේ..

by Staff Writer . 17-09-2021 | 9:59 PM

COLOMBO (NEWS1ST) :  ජාතික ආරක්ෂාව ගැන තවදුරටත් අවධානය යොමු කළ යුතු බව අවධාරණය කෙරෙන ආසන්නතම සිද්ධිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධිසංවේදී දත්ත රැසක් මැකී යෑමයි.

තවමත්, මෙම දත්ත මැකී යෑමට සම්බන්ධ මහ මොළකරු හෙළි වී නොමැත. ICTA ආයතනය භාරයේ පරිපාලන වගකීම සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩයේ අන්තර්ගතව තිබූ NMRA දත්ත පද්ධතියේ කොටසක් මැකී යාම සම්බන්ධයෙන් දැන් පවතින්නේ සංවාදාත්මක තත්ත්වයකි. 2021 ජුලි 9 වැනිදා NMRA සේවා සපයන එපික් සමාගම සිය ඉංජිනේරුවරයෙකු අතින් අත්වැරදීමකින් අදාළ දත්ත මැකී ගිය බව අනාවරණ කිරීමෙන් පසු සිදුවූයේ කුමක්ද? ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩයේ දත්ත යනු රටේ ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු පොදු දේපළකි. මෙපමණ ඔබේත් මගේත් අතිශය සංවේදී දත්ත ගොනුවක් මැකීයාම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නඩු නොපැවරීම ම කෙතරම් විශ්මය ජනකද ? හිටපු ඩිජිටල් අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පවසන්නේ, රජයට අයත් දේපළක් වන මූල්‍යමය වටිනාකමක් ඇති දත්ත මකාදැමීම පොදුදේපළ පනතට එරෙහි වරදක් වන බවයි.
රජයට අයත් දේපළක් වන මූල්‍යමය වටිනාකමක් තියන දත්ත මකාදැමීම පොදුදේපළ පනතට එරෙහි වරදක් වෙනවා. නමුත් අවාසනාවකට පොලිසිය තොරතුරු වාර්තා ඉදිරිපත් කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව ඉතාම ලිහිල් හුදු සැකයක් පමණක් මතු වන ආකාරයට තමයි ඒ වාර්තාව ඉදිරිපත් වෙන්නේ. මෙතනින් පේනවා අනවශ්‍ය ලිහිල්භාවයක් පෙන්වලා තියනවා. ඒ වගේම නියම සැකකරු අත්අඩංගුවට ගත්තා ද කියන සැකය මතු වෙනවා. හුදු මහජන පීඩනයෙන් බේරීමට පමණක් මෙය කරපු බවයි පේන්නේ. මහජන දේපළට එරෙහි වරදක් පිළිබඳව සැකකොට බී වාර්තාවක් ඉදිරිපත් කළාම සැකකරුට ඇප ලබා ගන්න පුළුවන් වෙන්නේ නෑ, ඉහළ අධිකරණයකින් ඇප ලබා දෙන තෙක් රක්ෂිතභාරයේ ඉන්න සිදුවෙනවා.
NMRAහී අධිසංවේදී තොරතුරු පද්ධතියෙන් කොටසක් අතුරුදන් කළ බව කියන ඉංජිනේරුවා දැන් මේ සිද්ධියේ සැඟවුණු අමුත්තාද ? සමගි ජනබලවේග මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසන්නේ, දත්ත මැකීයාම අත්වැරැද්දකින් සිදුවූවක් විය නොහැකි බවත් කාගේ උවමනාවක් හෝ වෙනුවෙන් හෝ ඖෂධ කුමාණ්ත්‍රණකරුවෙකු වෙනුවෙන් මේ ක්‍රියාව ක්‍රියාත්මක කළා ද යන්න ප්‍රශ්නය ඇති බවයි.
''එතකොට මේ ඉංජිනේරුවා කවු ද? අද වෙනකන් මේ ඉංජිනේරුවා කවුද කියන එක එළියට ඇවිල්ලා නෑ. මේ කියන මේ ජාවාරම්කරුවා කවුරු හරි මේ කියන ජාවාරම්කරුවා මේ ඉංජිනේරුවා මෙහෙව්වද? මොනවා කරපු කෙනෙක් ද? මොනවා කරන කෙනෙක්ද? දැන් මොනවද කරන්න. දැන් මේ පුද්ගලයා මේ ඩිලිඩ් බොත්තම ඔබලා තියෙන්නේ. මේ මකන්න කියන, බොත්තම ඔබලා තියෙන්නේ ඔහු අතින් මේක වැරදිමකින් එබුණ ද? දැන් මේ කියන්න හදන්නේ වැරදීමකින් එබුණා කියලා නේ. හැබැයි මේ පුංචි අපි කව්රුත් දන්නවා වැරදීමකින් ඩිලිට් කියන බොත්තම එබුවොත් ටෙලිෆෝන් එකේ පවා අහනවා ආ යු ෂුවර් කියලා. ඒ නිසා මේක අත්වැරැද්දක් වෙන්න බෑ. මොහු කාගේ උවමනාවක් හෝ වෙනුවෙන් කාගේ හරි මේ ඖෂධ කුමන්ත්‍රණකාරයෙක් වෙනුවෙන් මේ ක්‍රියාව ක්‍රියාත්මක කළා ද? එහෙනම් එ පිළිබඳව පරික්ෂණ ක්‍රියාත්මක වෙන්න ඕන. ඔහු කවු ද ඔහුව ඇයි එළියට දාන්නේ නැත්තේ ඇයි? ඔහුව හංගං ඉන්නේ මහ මොළකරු හම්බවෙයි ද කියන ප්‍රශ්නේ නිසා ද?''
මේ අතර පූජ්‍ය අක්මීමන දයාරතන හිමි අවධාරණය කර සිටින්නේ, මේ ඉංජිනේරුවරයා කවුරුන්ද යන්න පිළිබඳව රටට හෙළි කර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
''මිනිස්සු මරණයට පත් වෙන්න ගත්තොත් ඒවාට වගකීම් භාර ගන්න ආයතන කවුද? ඉංජිනේරුවරයාගේ අතපසුවීමකින්. එතකොට මේ පුද්ගලයා පිළිබදව තාමත් සමාජගත කරලා නැහැ. කවුද මේ පුද්ගලයා කියලා. රටට වැරැද්දක් කරා නම් මේක මේ අතපසුවීමක් කියලා කියන්න බෑ. වහාම මේ අයට දඬුවම් දීමේ කටයුත්ත කරන්න. ඊගාවට මේ ඉංජිනේරුවරයා කවුද කියලා රටට හෙළි කරන්න. ඊගාවට ඔහුට නීතිමය ක්‍රියාමාර්ග ගන්න''
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ, රටේ නීති පද්ධතිය ක්‍රියාත්මක වන්නේ නම්, පසුගිය සමයේ බාල ඖෂධ රටට ගෙන්වීම, තත්ත්වයෙන් උසස් නැති මිල ගණන්වලට නොගැළපෙන ඖෂධ රටට ගෙන්වීම වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් මේ වනවිටත් සියලු පාර්ශවයන්ගෙන් ප්‍රශ්න කර තිබිය යුතු බවයි.
''පහුගිය වසර කිහිපයේදිම දැක්කේ බාල ඖෂධ රටට ගෙන්වීම, තත්ත්වයෙන් උසස් නැති මිල ගණන්වලට නොගැළපෙන ඖෂධ රටට ගෙන්වීම, මං හිතන්නේ රටේ නීති පද්ධතිය ක්‍රියාත්මක වෙනවා නම්, මේ වෙනකොට සියලු පාර්ශවයන්ගෙන් ප්‍රශ්න කරල තියෙන්න ඕන. ඔවුන්ට අත්අඩංගුවට ගත හැකි ක්‍රමවේදයක් දැන් නිමවෙලා තියෙන්න ඕන. මොකද ඒක මිලියන ගානක නෙවෙයි එහෙම නම් බිලියන ගාණක වංචාවක්. පහුගිය කාලේම තත්ත්වෙන් බාල ඒව ගෙනාවේ''
ගාල්ල සමගි තරුණ බලවේගය ලේක ම්කණිෂ්ක ලැනරෝල් මහතා ද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය. ඔහු ප්‍රශ්න කරන්නේ, රජයේ ක්ලවුඩයට අයිති තොරතුරු මැකියා යාමේ මගඩියට සම්බන්ධ මහ මොළකරු සොය ගැනීමට නොහැකි ආණ්ඩුව, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයාගන්නේ කෙසේ ද යන්නයි.
''මේ ආණ්ඩුව බොහොම දක්ෂයිනේ දේවල් මකන්න. මෙතන මොකක්ද දන්නේ නෑ මේ CID එකට ක්‍රියාත්මක වෙන්න බැරි. අසේල සම්පත් ප්‍රකාශයක් කරලා පැය 24ක් යන්න කලින් සරම පිටින් උස්සන් ඇවිල්ලා CID එකට ඉදිරිපත් කළා. හැබැයි ඒ තියන කාර්යක්ෂමතාව CID එකට නැහැ නේ, දත්ත මගඩියේ මහ මොළකරු අල්ලන්න. ඒ නිසා අපි කියනවා. මේ ඖෂධ නියාමන අධිකාරියේ , රජයේ ක්ලවුඩ් එකට අයිති ඒ තොරතුරු ටික මැකියා යාමේ මේ මහා හොරකම ,මේ මගඩියට සම්බන්ධ මහ මොළකරු හොයාගන්න බැරි ආණ්ඩුව, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයාගන්නේ කොහොමද?''
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසන්නේ,  මහ දවල් සිදුවන මේ කොල්ලකෑම්වලට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතුව ඇති බවයි. තව ද මෙය පිටුපස සිටින මහ මොළකරු කවුද යන්න පිළිබඳ සොයා රජය රටට කීම සහ දඬුවම් දීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවයි.
''ජනතාවගේ කතාබහක් තියනවා. මේ ඇන්ටිජන්වලට මේ ගෙවන ගාන වැඩියි කියලා. එතකොට මේ දත්ත මැකීයාම නිසා ක්ලවුඩ් එකෙනුත් රිකවර් කරගන්න බැරි නම් කවුරුහරි ගුණාත්මකභාවයෙන් ඉහළ ඇන්ටිජන් කට්ටල ගේන්න ඇනවුම් කරලා තිබුණා නම්, ඔවුන්ගේ තොරතුරු හොයාගන්න බෑ. ඒ වගේම මෙතෙක් ඖෂධ වර්ග ලංකාවට ගෙන්වපු අයගේ තොරතුරු නොමැති විම නිසා ඇන්ටිජන් මෑන්ලාට හැකියාවක් ලැබෙනවා. වෙනත් ඖෂධ ගෙන්වන්න බලපත්‍ර ලබාගන්නත් , ඒ වගේම ඒක තුළ මාෆියාවක් හදාගන්නත්. ඇත්ත වශයෙන්ම සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ට වඩා විශාල , ලක්ෂ ගණන්වලින් පඩි ගන්න නිලධාරීන් විදියට ඔවුන් කරලා තියෙන්නේ විශාල වරදක්. ඔවුන්ට දඬුවම් ලබාදිය යුතුයි. ඒ නිසා මහදවාලේ සිදුවන මංකොල්ලකෑම්වලට විරුද්ධව මම හිතන්නේ ජනතාව මේකට පෙලගැහෙන්න ඕනේ. ජනතාවගේ එදිනෙදා දීර්ඝකාලීනව ජීවිතයේ සෞඛ්‍ය සම්බන්ධ දත්ත මේ නැති වෙලා තියෙන්නේ, මේක පිටිපස්සේ ඉන්න මහමොලකරුවා කවුද කියන එක රජය හොයලා රටට කීම සහ දඩුවම් දීම මම හිතන්නේ අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි''
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මධුර විතානගේ මහතා ද දත්ත මැකීම් පිළිබඳව මෙලෙස අදහස් පළ කළේ ය.
''මම පෞද්ගලිකව ඖෂධ නියාමන අධිකාරියට විරුද්ධව එහි තිබෙන දුෂණ වංචා පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අනුව මාස දෙකක් තුනක් වගේ ඇතුළත ඒ පරික්ෂණ කරන අතරතුර එයට අදාළ දත්ත ගබඩාවේ ඇති ලිපි ගොනු විශාල ප්‍රමාණයක් විනාස කරලා තියනවා. හිතාමතාම ඉතිං ඒක නිසා. ඒ දත්ත විනාශ කරපු ඇත්තටම ඒ වගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් කරන අතරතුරේ ඒ වගේ දත්ත විනාශ කරන්න පුළුවන් තරම් සම්බන්ධකම් තියනව ද? තරාතිරම නොබලා එකට සම්බන්ධ පුද්ගලික සමාගම විතරක් නෙවේ, ඒ පිටි පස්සේ ඉන්න පැවති රජයෙ ඉන්න මහා මොළකාරයින් වන දේශපාලනඥයින් පවා වහාම නිතිය ඉදිරියට ගෙනල්ලා දෙන්න පුළුවන් උපරිම ඉහළ දැඩි දඬුවම් දෙන්න කියලා තමයි මම මේ වෙලාවේ කියන්නේ''