රට විවෘත කරන්නේ නම් දැඩි සංචරණ සීමා පනවන්න

රට විවෘත කරන්නේ නම් දැඩි සංචරණ සීමා පනවන්න - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

by Staff writer 17-09-2021 | 10:57 AM

COLOMBO (NEWS1ST) : තවදුරටත් දිස්ත්‍රික් හා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, එසේ නොවුණහොත් රට තුළ යළිත් කොරෝනා ආසාදිතයින් ඉහළ යා හැකි බවය. උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ , මේ වනවිට සෑබෑවටම බිම් මට්ටමේ රෝගීන්ගේ අඩුවක් පවතින බවය. මෙය සුබවාදීව දකින බව පෙන්වා දෙන උපුල් රෝහණ මහතා සඳහන් කළේ, නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ මුල් කාලයේ එය ඉතා හොඳින් පිළිපදින බව දුටු නමුත් මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය ගැන කිසිවෙකුත් තැකීමක් නොකරන බවට පෙනී යන බවය. විශේෂයෙන් අත්‍යවශ්‍ය සේවා යනු කුමක්ද යන්න හඳුනාගත නොහැකි තරමට බලපත්‍ර නිකුත් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය. මේ නිසා ඉදිරියේදී රට විවෘත කරනවා නම්, දැඩි සංචරණ සීමා සහිතව ක්‍රියා කළ යුතු බව උපුල් රෝහණ මහතා පවසයි. මේ අතර හඳුනා නොගත් කොරෝනා ආසාදිතයින් විශාල පිරිසක් තවදුරටත් සිටිය හැකි බව ද උපුල් රෝහණ මහතා අවධාරණය කළේය. එමෙන්ම පාසල් සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කළ කමිටුවේ වාර්තාව අද (17)ජනාධිපතිතුමාට භාර දීමට සැලසුම් කර තිබේ.