අත් බෝම්බය සම්බන්ධයෙන් තවත් අයෙකු දැලේ..

නාරාහේන්පිට පෞද්ගලික රෝහලේ අත් බෝම්බය සම්බන්ධයෙන් තවත් අයෙකු අත්අඩංගුවට..

by Staff writer 17-09-2021 | 3:12 PM
 

COLOMBO (News 1st) – නාරාහ්න්පිට ලංකා පෞද්ගලික රෝහලේ තිබි අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ඔහු මහව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවය. පසුගිය 15 වැනිදා මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු සමග මොහු මීට පෙර වෙනත් ස්ථානයක රැකියා කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. මුල් සැකකාර තරුණයා අත්අඩංගුවට ගනු ලැබුයේ, පෙරේදා(15) පස්වරුවේදී ය. ඔහු ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයෙකි. රෝහලේ නේවාසිකව සිටින සැකකරු ඔහුගේ කාමරයේදී රෝහල් පරිශ්‍රයෙන් හමු වූ අත් බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරා යන ලෙස සකස් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. පොලීසිය සඳහන් කළේ, ත්‍යාගයක් ලබාගැනීමේ අරමුණින් මෙම බෝම්බය රෝහලට රැගෙන විත් දැමූ බව සැකකරු ප්‍රකාශ කළ බවය. මෙම බෝම්බය සොයා ගනු ලැබුයේ පසුගිය 14 වැනිදා පස්වරුවේ අදාළ රෝහලේ වැසිකිළියක තිබියදී ය.