සමාගම් හිමිකාර පියා මැරූ පුතු, බාප්පාත් මැරුවා ද?

Crime Watch: සමාගම් හිමිකාර පියා මැරූ පුතු, බාප්පාත් මැරුවා ද?

by Staff writer 16-09-2021 | 10:24 PM

COLOMBO (News 1st) - කුළු බඩු අපනයනය ඇතුළු මෙරට ප්‍රමුඛපෙළේ සමාගම් 09 ක හිමිකරුව සිටි ප්‍රකට ව්‍යපාරික ශබීර් අබ්බාස් ගුලාම් හුසේන් සිය කාර්යාලය තුළ මියගොස් සිටියදී හමු වූයේ 2017 ජුනි 9 වන දිනයි.

සාමාන්‍ය මරණයක් ලෙස අවසන් කටයුතු සිදු කළ අතර පසුව 2018 අගෝස්තු 16 වැනි දා පවුලේ සාමාජිකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කරමින් කියා සිටියේ මරණය සැක සහිත බවයි. පැමිණිල්ල මත පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2019 ජනවාරි මස 10 වැනි දා සිරුර යළි ගොඩගෙන විමර්ශනයක් සිදු කළේ ය. පසුගිය සැප්තැම්බර් මස 11 වැනි දා ව්‍යාපාරික ශබීර් අබ්බාස් ගුලාම් හුසේන්ගේ බාල පුත්‍රයා වන අලි අස්ගර් ශබීර් ගුලාම් හුසේන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නේ එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි. බාලපුත්‍රයා විසින් පියා ඝාතනය කර ඇතැයි සියුම්ව කළ පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මරණය සම්බන්ධයෙන් සැකපිට අලි අස්ගර් ශබීර් ගුලාම් හුසේන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. සුප්‍රකට ව්‍යාපාරික ශබීර් ගුලාම් හුසෙන් මහතාගේ සහෝදරයා වූ තහීර් ගුලාම් හුසේන් මහතාගේ මරණය පිළිබඳවදත් මේ වනවිට මතුව ඇත්තේ සැක සහිත තත්ත්වයකි. තහීර් ගුලාම් හුසේන් මහතා 2018 පෙබරවාරි 14 වැනිදා මිය යන්නේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේ බාබා පුල්ල් මාවතේ පිහිටි ගබඩා සංකීර්ණයක බිත්තියක් හා වහලයේ කොටසක් කඩා වැටීමෙනි. මේ මරණය සැක සහිත බවත් නිසි විමර්ශනයක් සිදු කරන ලෙසත් 2018  ජුනි 15 වැනි දා එම ගොඩනැගිල්ල ඉදිරිපිට තහීර් ගුලාම් හුසේන් මහතාට අයත් ව්‍යාපාරවල සේවයකින් විරෝධතාවයක් පවා පැවැත්විය. කඩා වැටුණ ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය තිබී ඇත්තේ බාල පුත්‍රයා විසින් ඝාතනය කළ බව දැන් අනාවරණ වී ඇති ශබීර් අබ්බාස් ගුලාම් හුසේන් සහ ඔහුගේ සහෝදරයා වන තහීර් ගුලාම් හුසේන් යන දෙදෙනාටම කොටස් අයිති ව්‍යාපාරයක් නමටයි. ඇඩම් එක්ස්පෝ ලිමිටඩ් නමැති එම ව්‍යාපාරයේ කොටස් වංචා සහගතව දැනට අත්අඩංගුවේ සිටින ශබීර් මහතාගේ බාලපුත්‍රයා විසින් පවරාගෙන ඇතැයි චෝදනා කරමින් ගොනු කළ නඩුවක් ද බස්නාහිර පළාත් බද මහාධිකරණය හමුවේ විභාග වී තිබේ. එම නඩුව පවරා තිබුණේ, ගොඩනැගිල්ල කඩා වැටී මිය ගිය ව්‍යාපාරික තහීර් ගුලාම් හුසේන් සහ ඝාතනයට ලක් වූ ව්‍යාපාරික ශබීර් ගුලාම් හුසේන් මහතාගේ බිරිඳයි. මෙම පෙත්සමට අදාළව 2017 නොවැම්බර් 22  දින බස්නාහිර පළාත් බද මහාධිකරණය නිකුත් කළ නියෝගය අනුව වංචා සහගත ලෙස කොටස් පවරාගෙන ඇති අකාරය ද අනාවරණය වී තිබුණි. තහීර් ගුලාම් හුසේන් ගොඩනැගිල්ල කඩා වැටී මිය යන්නේ මෙවැනි පසුබිමක් තිබියදීය. පවුලේ ඥාතීන් මෙන්ම සේවකයින්ද පෙන්වාදෙන අයුරින් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සිදු වූ තහීර් ගුලාම් හුසේන් මහතාගේ මරණය පිළිබඳවත් නැවත විමර්ශනයක් සිදු කළ යුතු නොවන්නේ ද?