හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක්

by Staff Writer . 16-09-2021 | 12:28 PM

COLOMBO (NEWS1ST) :  හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් පහර දෙනු ලැබූ බව කියන පුද්ගලයෙකු සිදු කළ පැමිණිල්ලකට අදාළව බම්බලපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පැමිණිල්ලේ දැක්වෙන්නේ පසුගිය 14 වැනිදා මධ්‍යම රාත්‍රී 12.40 ට පමණ බම්බලපිටිය කොතලාවල ඇවිනිව් හි ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් පහර දුන් බවයි. පහර දීමට ලකවූ බව කියන පුද්ගලයා පවසන්නේ ප්‍රාඩෝ රථයක් ඇතුළු වාහන දෙකකින් පැමිණි පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී තමා සහ අනෙක් ආරක්ෂක නිලධාරියාට පහර දුන් බවයි. කිසිදු හේතුවක් සඳහන් නොකර තමන්ට සහ අනෙක් නිලධාරියාට සිදුකළ පහරදීමට එරෙහිව ඔහු ඊයේ (15)බම්බලපිටිය පොලීසියට මෙම පැමිණිල්ල කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් අනියුක්ත කර ඇති බවයි. එමෙන්ම නගරාධිපතිවරයා කඩා වැදුණු මෙම ඉඩම පිළිබඳව අධිකරණයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක බව ද මේ වන විට හෙළි වී තිබේ. අදාළ සිද්ධිය සම්බන්යෙන් විමසීම සඳහා නිව්ස්ෆස්ට් හම්බන්තොට නගරාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. එරාජ් ප්‍රනාන්දු මහතාට 2015 වර්ෂයේ දී එක්සත් ජාතික පක්යේ මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ නීරීක්ෂණ චාරකාවකට එක් වූ අවස්ථාවේදී , ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව සිර ඳඩුවම් ද නියම විය. එමෙන්ම මීට මාස කිහිපයකට පෙර කොළඹ ප්‍රධාන පෙළේ ඉඩමක් සම්බන්ධයෙන් ද එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සමාජයේ දැඩි කතාබහට ලක් වූ පුද්ගලයෙකි.