කොරෝනා ආසාදිතයින් අතරින් මතුවන දිලීර රෝග...

by Staff Writer . 16-09-2021 | 2:18 PM

COLOMBO (NEWS1ST) : කළු දිලීර රෝගයටත් වඩා කොරෝනා ආසාදිතයින්ට බලපාන වෙනත් දිලීර රෝග මෙරටින් වාර්තා වී ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ, එලෙස හමුව ඇති සංඛ්‍යාව කළු දිලීර ආසාදිතයින්ට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බවයි. එම දීලිරවලින් කොවිඩ් රෝගීන්ට සංකූලතා ඇති වී තිබෙන බව ද ඇය සඳහන් කළා ය. මේ අතර මෙරට කොවිඩ් රෝගීන් අතරින් කළු දිලීර ආසාදනයවීම් වාර්තාවීම ආරම්භ වී ඇත්තේ, ඉකුත් ජූනි මස සිටයි. ඒ අනුව මේ දක්වා මෙරට කොවිඩ් රෝගීන් අතරින් කළු දිලීර ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ, රත්නත්පුර රෝහලෙන් රෝගීන් 3 ක්, ත්‍රිකුණාමලය රෝහලෙන් රෝගීන් 3 ක්, කොළඹ ජාතික රෝහලෙන් රෝගින් 4ක් සහ කරාපිටිය සහ කළුබෝවිල රෝහල්වලින් එක් රෝගියෙකු බැගිනි. කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවට අලුත් රෝගී තත්ත්වයක් නොවන බව ත් රටේ ඕනෑම තැනකින් දීලිර ආසාදිත රෝගීන් වාර්තා විය හැකි බවත් සිදුවිය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.