ක්‍රීඩකයින්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කෙරේ

ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එල්ලවන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

by Staff Writer . 16-09-2021 | 2:29 PM

COLOMBO (NEWS1ST) :  ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

නිමාව දුටු දකුණු අප්‍රිකානු තරග සංචාය තුළ අඩු දක්ෂතා දක්වමින් තරග පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපි දෙනෙකු කටයුතු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (16) සඳහන් කළේ, අදාළ පුවත්පත් වාර්තා පිළිබඳ කිසිදු චෝදනාවක් කණ්ඩායම් කළමනාකරුගෙන් තමන් වෙත ලැබී නොමැති බවයි. එක්දින ජාත්‍යන්තර තරගාවලියට මෙන්ම පන්දුවාර 20 තරගාවලියට එක්වූයේ ද එකම කණ්ඩායමේ සාමාජිකයින් බව අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි. දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩියම ලෝක කුසලාන ලීග් ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත් වූ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත වකවානුව තුළ තරග ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී මාවතට ප්‍රවේශ වී සිටින බව ද එහි සඳහන් ය. මාධ්‍ය සදාචාරයට ගරුකරමින් නිවැරදි පුවත් වාර්තා කිරීමට කටයුතු කරන ලෙසත් එසේ නොකළ හොත් ලෝක කුසලානයක් අබියස සිටින කණ්ඩායමේ මානසිකත්වය බිඳ වැටිය හැකි බවට අදාළ නිවේදනය මගින් කරුණු දක්වා තිබේ.