අම්පාර ජලාශයටත් ඇවිදින මංතීරුවක්..

අම්පාර ජලාශයටත් ඇවිදින මංතීරුවක්: මේ පාලකයින්ට වැව් පෙන්නන්න බැරි රෝගයක් තියෙනවනේ - ගොවි සංවිධාන

by Staff writer 16-09-2021 | 10:08 PM

COLOMBO (News 1st) - බලපෑම් සහ අවදානම එල්ල වී තිබෙන්නේ අම්පාර රජ වැවට පමණක් නොවේ.

අම්පාර ජලාශය ද මේ වන විටත් ඩෝසර් කිරීමකට ලක්ව තිබේ. මෙම ජලාශයත් ගොඳුරු වන්නේ ඇවිදින මංතීරුවකටය. එහෙත් මේ වනවිටත් මෙම ජලාශයේ බැම්ම ආශ්‍රිතව ඇවිදින මංතීරුවක් තිබේ. එය සකස් කෙරුණේ, 2013 වර්ෂයේ දැයට කිරුළ වැඩසටහන යටතේ යි. වැව් බැම්මෙහි මීටර් 50 ක පමණ කොටසකට මේ හේතුවෙන් හානි වී ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙති. නාමල්ඔය ගොවිජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු, හේමන්ත කිත්සිරි මහතා,
බිම ඉන්න මිනිස්සු විදියට අහසේ ඉන්න පාලකයෝ පත් කරගත්තු කරුමෙනේ මේ තියෙන්නේ. පාලකයා අහසේ පාලකයා පාවෙනවා. පාලකයා ඇවිදිනවා පාලකයා බාල් නටනවා. පාලකයෝ සල්ලිකාරයෝ ධන පතියෝ වෙන පන්තියක වෙන පැලැන්තියක ඉන්නේ මහ පොළවට එන්නේ නෑ. කුඹුරට එන්නේ නෑ කෙතට වැවට එන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්න වෙලාවක මුළු රටම ණය කන්දරාවක ණය බරක මිරිකිච්ච වෙලාවක මේ පාලකයෝ මේ කරන දේවල්ද මේ. විශේෂයෙන් කියන්නේ මේ ව්‍යාපෘතියට වාරිමාර්ගෙන් අවසර අරගෙන නෑ. මේක නීති විරෝධී වැඩක් මේ. නාගරික සංවර්ධන අධිකාරියේ හරි කව්රුහරි මේක කරලා තියනවා. ඇවිල්ලා බැලුවොත් එහෙම මුළු වාරිමාර්ග පද්ධතියම විනාසයි
අම්පාර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති, සී.එච්.කුමාර මහතා,
ලංකාව පුරාම මේ පාලකයින්ට වැව් පෙන්නනන බෑ. මුන්ට වැව් පෙන්නන්න බැරි රෝගයක් තියනවනේ. මොකද්ද දන්නේ නෑ මේ කුලප්පුව හැදිලා තියන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරෙත් නෑ. වෙන කිසි කෙනෙක් දන්නෙත් නෑ. එයාලා හිතුමතේ මේවා විනාශ කරලා දානවා. කොහොමද වැඩ කරන්නේ එහෙම. ඇවිදින මංතීරු නෙමෙයි හෙට අනිද්දට උඹලට දුවන්න පාර හදා ගනිල්ලා.