මොනරාගල නෙලුම් වැවටත් අත තියයිද?

ප්‍රමුඛතාව දිය යුත්තේ, රටට බත දෙන වැවට ද ඇගට සැප දෙන මංතීරුවට ද?

by Staff Writer . 15-09-2021 | 10:23 PM
COLOMBO (NEWS1ST) : වී ගොවීන්ට පොහොර නෑ හොඳ මිලක් නැහැ. මේ ප්‍රශ්න පත්‍රයට විසඳුමක් පෙනෙන්නට නැහැ. එසේ නම් ගොවි ගම්මානවලට ඇවිදින මංතීරු කුමට ද? පරාක්‍රම සමුද්‍රයටත් , කන්තලේ වැවටත් අත තැබූ පිරිස් අලුතින්ම විනාශ කරන්නට සූදානම් වන්නේ මොනරාගල, මඩුල්ල, මකුල්ල නගරයේ පිහිටි නෙලුම් වැව්යි. මේ වනවිට නෙලුම්වැවේ ජලයෙන් ප්‍රදේශයේ වගා කරනු ලබන කුඹූරු අක්කර ප්‍රමාණය 100 කට අධික ය. ඇවිදින මංතීරු ඉදි කළහොත් වැව් බැම්මට හානි සිදු වී වගා ජලයත් වැවත් අවදානමක් මතු වී හැකි බවට ගොවීහු බිය පළ කරති. ගොවි සංවිධානය පවසන්නේ, මේ පිළිබඳව මොනරාගල ගොවිජන සේවා කොමසාරිස්, මඩුල්ල ප්‍රාදේශිය ලේකම්වරයා, සහ මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු බලධාරින් දැනුවත් කර ඇති බවයි. නමුත් මෙහි සථ්‍ය අසත්‍යතාව තහවුරු කිරීමට අප උත්සහ කළ ද එම නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. ආහාර අඛණ්ඩව සම්පාදනය කිරීමට හදිසි නීතිය ක්‍රියාත්මක කරන රටක ප්‍රමුඛතාව දිය යුත්තේ රටට බත දෙන වැවට ද ඇගට සැප දෙන ඇවිදින මංතීරුවට ද? පරාක්‍රම සමුද්‍රයේ රලපනාව බේරාගැනීමට හැකි වුයේ, සංඝරත්නය සහ ගොවි ජන සංවිධාන ඇතුළු බහු ජන ව්‍යාපරවල නැගිටීම නිසයි. එම උදාර කාර්යට උර දුන් සංඝරත්නය හා ගොවි නියෝජිතයන් අද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටූහ. පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ව්‍යාපාරය කැඳවුම්කරු පූජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමියන් එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඉදිරියේ පැවසුවේ, පොලොන්නරුවේ පළමු අවශ්‍යතාව ඇවිඳින මංතීරු නොවන බවයි.
''ඒ ගොල්ලන් කියන්නේ ගෝල්පේස් එක වගේ පොළොන්නරුවෙ ළමයින්ටත් ඕනෙ ලු. ගොවි පුත්තු නායක හාමුදුරුවනේ ඕව කරන්න එන්නේ නැහැ. මේක පොළොන්නරුවෙන් පටන් අරගෙන නායක හාමුදුරුවනේ කන්තලේට යන්න ගියේ, දැන් කන්තලේ හොඳ වෙලාවට නතර වුණා. තව සුමාන දෙකෙන් තුනෙන් වගේ වැස්ස පටන් ගන්නවා. මේ ගොල්ලෝ ජනවාරි මාසේ තමයි මේක නිරීක්ෂණය කරන්නේ. කාටවත් නොකියා ඇඳිරි නීතිය අස්සේ ඇයි නායක හාමුදුරුවනේ එහෙම කරන්නේ. අනික පොළොන්නරුවේ පළවෙනි අවශ්‍යතාවය ඒක නෙමෙයි නායක හාමුදුරුවනේ''
තව ද කදුරුවෙල ධම්මපාල හිමියන් පැවසුවේ, ගොවි පුත්තුන්ට ශරීර යෝග්‍යතා ව්‍යායාම අවශ්‍ය නොමැති බවත් අවශ්‍ය නම් එවැනි ස්ථාන දැනටත් ප්‍රදේශයේ තිබෙන බවත් ය.
''පසුගිය රජයවල් රාශියක් පොළොන්නරුවේ මන්තීරු රාශියක් හදලා තියෙනවා. ගොවි පුත්තුන්ට කවදාවත් ශරීර යෝග්‍යතා ව්‍යායාම අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් අවශ්‍ය තැනුත් හදලා තියෙනවා. ව්‍යාපෘතියක් හදලා දෙන්නකෝ මනම් පිටිය ගගෙන් වතුර ටිකක් දෙන්න කෝ ජල ප්‍රශ්නය විසඳලා දෙන්න කෝ. මිනිස්සු ලොකු ලොකු බැරල් තියාගෙන හවස් වෙනකොට පාර අයිනේ ඉන්නවා වතුර ටිකක් ඉල්ලගන්න. මේවා විය යුතු දෙයක් නෙමෙයි කීප කීපදෙනෙකුගේ අවශ්‍යතාවයන්. ඉංජිනේරුවරයා කියනවා වාරිමාර්ගයේ මං තීරුව හදන එක විතරක් නෙමෙයි අපගේ පරමාර්ථය තව එහාට යනවා ලු. අපි ගාව ඡායාරූපය තියෙනවා මේගොල්ලෝ සිස්ටම් එක හදලා තිබිච්ච විදිය. ඒකෙ තියෙන විදියට අනාගතයේ දී බෝට් සර්විස්, සී ප්ලේන් දාලා ගෝල්පේස් එකම කරන්න තමයි හදන්නෙ''
මෙහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද මෙලෙස අදහස් පළ කළහ.
''අපිත් නිරන්තරවම නිරන්තරවම හොඳ දේවල්වලට හොඳයි කියනවා නරක දේවල් වලට නරකයි කියනවා. අපි ආණ්ඩුවක් පත් කළේ මේවා බලාපොරොත්තුවෙන් නෙමෙයි. අපි එදා ජනතාවට කිව්වේ රට විනාසයි. කියන සටන් පාඨය තමයි හැම තැනම ගියේ. නමුත් අද අපට පැහැදිලිව පේනවා ඉඟුරු දීලා මිරිස් ගත්ත වගේ තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ අපි. මැතිවරණයකට ගියොත් තේරෙයි රටේ ජනතාවගේ ජනතාව ඉන්න කොතනද කියලා පැහැදිලිව පෙනෙයි''
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ව්‍යාපාරයේ භික්ෂුන් වහන්සේලා අද පස්වරුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද බැහැ දැක ඉදිකිරීමට සූදානම් වූ ශරීර යෝග්‍යතා මංතීරුව පිළිබඳව දැනුවත් කළහ.