අනුරාධපුර බන්ධනාගාරයේ සිදු වූයේ කුමක් ද? දෙමළ පක්ෂවලින් හෙළිදරව්වක්

by Staff Writer . 15-09-2021 | 9:02 PM

COLOMBO (NEWS1ST) :  වැලිකඩ සහ අනුරාධපුර බන්ධානාගාරවල සිදු කළ බව පැවසෙන නොමනා හැසීරීමේ සිද්ධිය මුල් කරගන බන්ධනාගාර කළමනාකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ලොහාන් රත්වත්තේ මහතා කළ ඉල්ලීම ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

සිරකරුවන් තර්ජනාත්මක පසුබිමකට යොමු කිරීම සම්බන්ධයෙන් තැති ගැන්මට ලක්ව ඇති දෙස් විදෙස් සංවිධාන හා දේශපාල පක්ෂ ඉල්ලා සිටින්නේ මෙය ඉල්ලා අස්වීමෙන් යටපත් නොකර නීතිය ක්‍රියාත්මක කිරීම දක්වා ඉදිරියට ගෙන ආ යුතු බවයි. වැලිකඩ බන්ධනාගාරයේ සැප්තැම්බර් 6 වැනිදාත් අනුරාධපුර බන්ධනාගාරයේ සැප්තැම්බර් 12 වැනිදාත් රාත්‍රී කාලයේ හෙලිකොප්ටරයකින් පැමිණි රාජ්‍ය ඇමතිවරයෙකු ඇතුළු පිරිසක් සිරකරුවන් බිය ගන්වන සුළු ක්‍රියාවක නිරත වූ බව පැවසේ. මෙම සිද්ධිය තහවුරු කර ගැනීමට අප කළ විසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කොමසාරිස්වරයෙකු අනුරාධපුරයට අනියුක්ත කර ඇති බවයි. සිවිල් ගුවන් සේවා අධිකාරිය අනුගමනය කරන පිළිවෙතට අනුව මේ දින වල රාත්‍රී කාලයේ අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාත්මක නොවේ. ඒ අනවශ්‍ය අවදානමක් නොගැනීම පිණිස බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ ය. එමෙන්ම මෙම අධිකාරිය යටතේ අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාත්මක වන්නේ යාපනය, මඩකලපුව, රත්මාලන ගුවන්තොටුපල අතර පමණි. එසේ නම්, අනුරාධපුරයට ගියේ පෞද්ගලික ගුවන් යානයක් විය යුතුයි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ, ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානා රාත්‍රී කාලයේ පියාසර නොකරන බවත් අවශ්‍යතාව මත මේ දිනවල සේවය ලබා දෙන්නේ ජනාධිපති හා අගමැතිට පමණක් බවත් ය. මීළඟට පැන නැගෙන ප්‍රශ්නය අධික බීමත් පුද්ගලයෙකු ගුවන් යානයක රැගෙන යා හැකි ද? මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ බීමත් බව පරීක්ෂා නොකෙරෙන නමුත් අධික බීමත්ව සිටින බව තහවුරු වුවහොත් සේවය ලබා නොදෙන බවයි. නමුත් අදාළ රාජ්‍ය ඇමතිවරයා අනුරාධපුර බන්ධනාගාරයට හෙලිකොප්ටරයකින් පැමිණි බව ප්‍රකාශ වේ.

බන්ධානාගාරය තුළ සිදු වූයේ කුමක් ද?

දෙමළ ජාතික ජනතා පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා  මේ පිළිබඳව තොරතුරු හෙළි කළේ ය.
''12 වැනිදා හැන්දෑවේ බන්ධනාගාරයට නියම කරලා තියෙන ස්ටේට් මිනිස්ටර් අනුරාධපුර බන්ධනාගාරෙට ගිහිල්ලා එහේ හිටපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන ඉන්න දෙමළ සිරකරුවන්ව කැඳවලා, විශේෂයෙන්ම දෙන්නෙක්ව දණගස්සලා ඒ ඇමතිවරයාගේ ආරක්ෂාවට තිබුණ පිස්තෝලය අරගෙන ඔළුවටත්, ඇඟටත් එල්ල කරලා ඔහුව විනාඩියකින් මරලා දන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ටිකක් බලන්න, අද හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ PT ගැන විශාල විවාදයක් යනවා. දැන් අර PT එකට යටතේ අත්අඩංගුවට අරගෙන ඉන්න දේශපාලන සිරකරුවන්ව තමයි ඇමතිවරයා ගිහිල්ලා තර්ජනය කරලා තියෙන්නේ ''
දුෂණ විරෝධි හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ, රට පිළිබඳ බරපතළ යෝජනාවක් එල්ල වෙමින් ඇති පසුබිමකදී . එම චෝදනාවලට උත්තර දෙනවා වෙනුවට තවදුරටත් සාක්ෂි සපයමින් සිටින බවයි.
''අද අපේ රටේ ඇමතිවරුන්ගේ විනෝදාංශ අපේ රට බරපතළ ප්‍රශ්න ගණනාවකට තල්ලු කරනවාද?, එහෙම නැත්නම් රටට එරෙහි දැවැන්ත කුමන්ත්‍රණයක් සිදුකරනවා ද?, මේ රටේ ජාතික ආරක්ෂාව ගැන පුරාජේරු ගහපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආරක්ෂක සැලැස්ම මේකද කියන කාරණය පිළිබඳව ප්‍රශ්න කරන්න වෙලා තියෙන්නේ. අන්න ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවක් යනවා. රට පිළිබඳ බරපතළ යෝජනාවක් එල්ල වෙමින් තියෙනවා. දැන් ඒ චෝදනාවලට උත්තර දෙන එක වෙනුවට අපි තවදුරටත් සාක්ෂි සපයමින් ඉන්නවා රට ඇතුළේ, ඔව් අපි එහෙම තමයි කියලා කියන්න. රටේ තියෙන්න ඕන එක නීතියයි කිව්වා. අපි අහනවා කෝ නීති''
මෙවන් පසුබිමක ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීම පිණිස ජනාධිපතිවරයාගේ නිර්දේශ අයැද සිටී. එය ජනාධිපතිතුමන් විසින් පිළිගැනීමත් සමග ඔහු බන්ධනාගාර කළමනාකරණ හා සිකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය. නමුත් මීට අමතරව ඔහු දරන මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ බවක් දැන ගන්නට නොමැත. ඒ අනුව ඔහුට රාජ්‍ය අමාත්‍ය ධූරයක වරප්‍රසාද තවමත් භුක්ති විදිය හැකියි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අදාළ අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතු බව ඉල්ලා සිටි අතර එවැනි හැසිරීමක් ශිෂ්ට සම්පන්න සමාජයකට පිළීගත නොහැකි බව අවධාරණය කළේ ය. බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ ඉල්ලන්නේ ඇමති ධූරයෙන් ඉවත් කිරීමෙන් මේ සිද්ධිය යටපත් නොකොට නීතිය ක්‍රියාක්මක විය යිතු බවයි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මහතා පවසන්නේ, බන්ධනාගාර නිලධාරීන් ද මෙම අමාත්‍යවරයාගේ බීමත් හැසිරිමට ලොකු ඉඩකඩක් දී ඇති බවයි.
''බන්ධනාගාර නිලධාරිනුත් මේ ඇමතියාගේ මේ බීමත් හැසිරිමට ලොකු ඉඩකඩක් දීලා තියෙනවා. අපිට ඊයේ ආරංචි වුණා අනුරාධපුර බන්ධනාගාරයේ සීසීටීවි දර්ශන මකන්න ලොකු උත්සාහයක් දරනවා කියලා., රාජ්‍ය ඇමති කියන පුද්ගලයා කියනවා නම් තමන්ට අයිතිය තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට බන්ධානාගාරය තුළට යන්න. එහෙම අයිතියක් නෑ ඕනි වෙලාවට යන්න. රාජ්‍ය ඇමති කියන පුද්ගලයා කියනවා නම් තමන්ට අයිතිය තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට බන්ධානාගාරය තුළට යන්න. එහෙම අයිතියක් නෑ ඕනි වෙලාවට යන්න. උදේ 5.30 ත් හවස 5.30 අතරේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇතුළු වෙන්න ඉඩ තියෙන්නේ එතකොට මේ නීතිය අනුව කටයුතු කළා ද මේ පුද්ගලයා''
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් පැවසුවේ, සියල්ලට ප්‍රථම ඇමතිවරයා පුනරුත්ථාපනය කළ යුතුව ඇති බවයි.
''මරු පොරකට සිරකරුවන් පුනරුත්තාපනය කරන්න භාර දීලා තියෙන්නේ. ඔක්කෝටම ඉස්සෙල්ලා මෙන්න මේ මරිබෝල් ඇමතිව පුනරුත්ථාපනය කරන්න ඕනි''
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රශ්න කර සිටින්නේ, ඇමති ඉල්ලා අස්වීඹ ප්‍රමාණවත් නොවන බව ත් මෙවැනි විනය විරෝධී කටයුතු කරන ඇමතිවරු සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය කුමක්දැයි පැහැදිලි කරන ලෙසත් ය.
''ජනාධිපතිවරයා කිව්ව නේ ඝෝඨාභය මහත්තයා ආවොත් සෙල්ලම් බැහැ කියලා. දැන් ඕන තරම් සෙල්ලම් පෙන්නුවෙ ගිහිල්ලා ලොහාන් රත්වත්තේලා. ඒ සෙල්ලම් සම්බන්ධව ඔහු ගත්ත පියවර මොකක්ද ? ලොහාන් රත්වත්තේම ඇවිල්ලා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙනකල් අඩුමගානේ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් කරන්න. ඒ නිසා ඔහු ඉල්ලා අස්වෙලා හරියන්නේ නැහැ. මෙවැනි විනය විරෝධී කටයුතු කරන මෙහෙම පිස්සු නටන ඇමතිවරු සම්බන්ධව රජයේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා පැහැදිලි කරන්න''