ස්පුට්නික් V මාත්‍රා 12,0000 ක් ලබන සතියේ දිවයිනට

ස්පුට්නික් ගත් මහනුවර සියලු දෙනාට ලබන සතියේ දෙවන මාත්‍රාව...

by Sagarika Chathumali 15-09-2021 | 5:56 PM

COLOMBO (NEWS1ST) :  දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය කරන ස්පුට්නික් V එන්නත් මාත්‍රා 12,0000 ක් ලබන සඳුදා (20) දිවයිනට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව එලෙස ලැබෙන එන්නත් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත අතර ඒ අනුව ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව ගත් සියලු දෙනා පූර්ණ එන්නත් කරණයට ලක්කෙරෙනු ඇති. සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (15) පැවති ඖෂධ ආනයනය , ගබඩා කිරීම හා බෙදා හැරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් වන සමාලෝචන සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, එලෙස ලැබෙන එන්නත් දින 3ක් ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබා දීමට ආරම්භ කරන බවත් සතිය අවසන් වන විට එන්නත්කරණය අවසන් කළ හැකි වනු ඇති බවත් ය. සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 15,0000 ක් සඳහා ස්පුට්නික් එන්නත ලබා දී ඇති අතර දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එහි දෙවන මාත්‍රාව ලෙස මාත්‍රාව අවස්ථා දෙකකදී ලබා දී ඇති මාත්‍රා සංඛ්‍යාව 30,000 කි. මේ අතර අත්‍යාවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් තැබීමට කටයුතු නොකරන බවත් දිනෙන් දින වෙනස් වන තාක්ෂණය මුසුකර ගනිමින් සැබෑ අවශ්‍යතාව හඳුනා ගනිමින් කටයුතු කරන බවත් අනවශ්‍ය ලෙස මුදල් වැය කරමින් නිකරුණේ, ඖෂධ තොග තබා ගැනීමේ අවශ්‍යතාවක් එබැවින් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත. මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.