කබ්රාල් මහ බැංකු අධිපති ධුරයේ වැඩ භාර ගනී

by Sagarika Chathumali 15-09-2021 | 3:32 PM

COLOMBO (NEWS1ST) :  අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයේ වැඩ භාර ගෙන තිබේ.

ජනතා බලාපොරොත්තු බිඳ නොහෙළන බවට ත්, ආර්ථිකය අඛණ්ඩව ස්ථායීතාව කරා යොමු කරන බවට ත් නව ධුරයේ වැඩ භාර ගනිමින් කබ්රාල් මහතා සහතික වී ඇත. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයේ සමීප සහයෝගය මෙන්ම නුදුරේදීම සාකච්ඡා කිරීමට බලාපොරත්තු වන සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව නව අධිපතිවරයා එහිදී සඳහන් කළ බවයි. තව ද රජය බැංකුකරුවන්, ආනයනකරුවන්, අපනයනකරුවන්, ණය දෙන්නන්, ණය ගන්නන්, ආයෝජකයින්, සංවර්ධන කාර්යන්හි නිරතවන්නන්, සේවා සපයන්නන්, කාර්මික ව්‍යාපාර, විනිමය ආයතන,සිල්ලර වෙළෙඳුන්, තොග වෙළෙඳුන් මෙන්ම ජනතාව ආර්ථික ස්ථායීතාව අත්විඳිය යුතු බව කබ්රාල් මහතා වැඩිදුරටත් පවසා තිබේ. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික මූලධර්ම අපේක්ෂිත මාවත තුළ මෙහෙයවීම සම්බන්ධයෙන් පැහැදිලි පණිවුඩයක් ලබාදීම සහ එමගින් මූල්‍ය අංශයේ ස්ථායීතාව සහතික කිරීම සිය අධික්ෂණය යටතේ මහ බැංකුවේ ඉහළම ප්‍රමුඛතාවක් හිමි වන බව ද ඔහු සඳහන් කර ඇත. කබ්රොල් මහතා පවසා ඇත්තේ, එකී ඉලක්ක සපුරා ගැනීම සඳහා මහ බැංකුව සිය කැපවීම පිළිඹිබු වන පරිදි අවශ්‍ය පියවර ගතයුතු වන අතර ඒ සඳහා සියලුම පාර්ශ්වකරුවන්ට අනුගමනය කළ හැකි කෙටි කාලීන පෙර දැක්මක ස්වරූපයේ ප්‍රතිපත්ති මාලාවක් හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.