අනුරාධපුර බන්ධනාගාරයේ නීතිවිරෝධීව හැසිරුණු ඇමති වහාම ධුරයෙන් ඉවත් කරන්න – විපක්ෂ නායක ජනපතිගෙන් ඉල්ලයි

අනුරාධපුර බන්ධනාගාරයේ නීතිවිරෝධීව හැසිරුණු ඇමති වහාම ධුරයෙන් ඉවත් කරන්න – විපක්ෂ නායක ජනපතිගෙන් ඉල්ලයි

අනුරාධපුර බන්ධනාගාරයේ නීතිවිරෝධීව හැසිරුණු ඇමති වහාම ධුරයෙන් ඉවත් කරන්න – විපක්ෂ නායක ජනපතිගෙන් ඉල්ලයි

කර්තෘ Staff Writer .

15 Sep, 2021 | 10:47 am

COLOMBO (NEWS1ST) :  අනුරාධපුර බන්ධනාගාර සංකිර්ණයේ නින්දිත හා නීති විරෝධි අයුරින් හැසිරුණු රාජ්‍ය අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ අනුරාධපුර බන්ධනාගාර සංකිර්ණයෙදි සිදුව ඇතැයි, කියන රජයේ අමාත්‍යවරයකුගේ නින්දිත හා නීති විරෝධි හැසිරිම තරයේ හෙළා දකින බවයි.

එම පිළිකුල් සහගත නීති විරෝධි ක්‍රියාව මගින් රටේ අරාජිකත්වය මැනවින් නිරුපනය වන බව විපක්ෂ නායකවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය.

‍මාතෘ භුමියේ ජිවත්වන සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට වත්මන් රජය බැඳී සිටින බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා පවසන්නේ, මෙම නීතිවිරෝධි හා නින්දිත ක්‍රියාව වර්තමානයේ මෙරට මානව හිමිකම් තත්ත්වය සීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳව තවත් නිර්දේශයක් බවයි.

මේ අතර පසුගිය 12 වනදා අනුරාධපුර බන්ධනාගරය තුළදි සිරකරුවන්ට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නඩු පැවරිය යුතු බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙසයි.

මෙම සිද්ධිය තමන්ට ද තහවුරු කළ හැකි බව දෙමළ ජාතික ජනතා පෙරමුණ අවධාරණය කරයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එහි නායක පාර්ලිමෙන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා කියා සිටියේ, පසුගිය 12 වනදා රාජ්‍ය අමාත්‍යවරයා දමිළ සිරකරුවන් දෙදෙනකු ඔහු ඉදිරියේ දණ ගස්වා ඇති බවයි.

එමෙන්ම ඔවුන්ගේ හිසට ගිනි අවියක් තබා ඝාතනය කරන බවට තර්ජනය කර ඇතැයි ද පොන්නම්බලම් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය.

මෙම සිදුවිම තරයේ හෙළා දකින බව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සිය ට්විටර් පණිවිඩයෙන් අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් විමසීමට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ කර ගැනිමට නිව්ස් ෆස්ට් අවස්ථා කිහිපයකදි උත්සහ කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වුයේ නැහැ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]